Monday, June 27, 2011

හෑන්ඩ් පෝන් වලට අකුණු වදිනවාද?








යම් සිද්ධියක්‌ පිළිබඳව හේතු සාධක දැක්‌වීමට මූලික ක්‍රම කිහිපයක්‌ ඇත. ජංගම දුරකථන අකුණු අවස්‌ථාවක දී භාවිතාව පිළිබඳව පරික්‍ෂා කර, පසුව නිරීක්‍ෂණ මගින් කිසියම් නිගමනයකට ඒම පළිගත් විද්‍යාත්මක ක්‍රමයයි. එසේ නොමැති නම් විශාල කාල පරාසයක්‌ තුළ, ජංගම දුරකථන අකුණු ඇති අවස්‌ථාවක දී භාවිත කිරීම නිසා සිදු වූ ජීවිත හානි පිළිබඳ නිවැරැදි දත්ත

එක්‌රැස්‌ කර ඒවා යළි තහවුරු කර ගැනීමයි. එසේ ම වෙනත් රටවල මෙවන් අවස්‌ථා පිළිබඳව අධ්‍යයනය කිරීම ඉතා වැදගත් ය. මා ගේ දැනුම අනුව, ජංගම දුරකථන අකුණු අවස්‌ථාවල භාවිතය පිළිබඳව හා ඒවායින් ඇති වූ ජීවිත හානි හෝ අනතුරු පිළිබඳව මෙතෙක්‌ විධිමත් අධ්‍යයනයක්‌ ශ්‍රී ලංකාවේ කර නොමැත. ශ්‍රී ලංකාවට ජංගම දුරකථන ආගමනය සිදු වූයේ 1988 වසරේ පමණ ය. පසුගිය වසර 23ක පමණ කාලය තුළ, ජංගම දුරකථන අකුණු අවස්‌ථාවල භාවිත කර කොපමණ පුද්ගල සංඛ්‍යාවක්‌ මිය ගොස්‌ හෝ අනතුරු සිදු වී ඇත් දැයි අප සොයා බැලිය යුතු ය. මීට අමතරව වසරකට අකුණුවලින් මිනිස්‌ ජීවිත 40ක්‌ පමණ වාර්ෂිකව අහිමි වේ. අප විමසා බැලිය යුත්තේ මේ ජීවිත හානි 40න් කොපමණ ප්‍රමාණයක්‌ ජංගම දුරකථන භාවිතය නිසා වූවා ද කියා ය. මෙය දැනට කිසි ම ආයතනයකින් ස්‌ථිරව ම සනාථ කර නොමැති සාධකයකි. අප රටේ වගකිවයුතු කිසිදු ආයතනයක්‌ මේ පිළිබඳ අධ්‍යයනයක්‌ මෙතෙක්‌ කර නොමැත. අප සොයා බැලිය යුත්තේ අකුණු ඇති අවස්‌ථාවක දී ජංගම දුරකථනයක්‌ භාවිත කර ඇත යන කරුණ නිසා ම, සත්‍ය ලෙස ම ජීවිත හානි සිදු වේ ද යන්නයි. මේ වසර මුල දී, හොරණ ප්‍රදේශයට ආසන්න ප්‍රදේශයක පුද්ගලයකු අකුණු ඇති අවස්‌ථාවක ජංගම දුරකථනයක්‌ භාවිත කරමින් සිටි විටක දී ජීවිතක්‍ෂයට පත් ව ඇත. බැලු බැල්මට පෙනෙන්නේ ප්‍රධාන හේතු සාධකය ජංගම දුරකථනය බවයි. එමෙන්ම මේ පුද්ගලයා එම අවස්‌ථාවේ දී වෙනත් උස්‌ ගොඩනැඟිලි නොමැති හිස්‌ ස්‌ථානයක සිට ජංගම දුරකථනය භාවිත කර ඇත. බොහෝ විට එම අවස්‌ථාවේ දී මේ පුද්ගලයාට සෘජු අකුණක්‌ හෝ වෙනත් ඊට ආසන්න ම ස්‌ථානයක පතිත වූ අකුණක්‌ හෝ, පාර්ශ්වීය ලෙසට පතිත වී ඇති බව නිගමනය කළ හැකි ය. එම මොහොතේ දී ජංගම දුරකථනය වෙනුවට වෙනත් දෙයක්‌ වුවත් ඔහු භාවිත කරමින් සිටියේ නම්, ඉහත අනතුර එලෙස ම සිදු විය හැකි ය.

ලිපියේ සඳහන් ඇමෙරිකාවේ ඉලිනොයි සරසවියේ මහාචාර්ය මේරි ඈන් කූපර් අකුණු අනතුරු හා ආරක්‍ෂණය පිළිබඳව ප්‍රකට විද්වතෙකි. ඇය අකුණු හා සම්බන්ධ ලොව පිළිගත් සම්මේලන, වැඩමුළු හා සම්මන්ත්‍රණ ආදියෙහි පර්යේෂණ නිබන්ධන සිය ගණන් ප්‍රසිද්ධ කර ඇත. මහාචාර්ය ඈන් කූපර් ජංගම දුරකථන සහ අකුණු අතර ඇති සම්බන්ධය පිළිබඳව දරන මතය නිවැරැදි එකක්‌ බව මා ගේ හැඟීමයි. ශ්‍රී ලංකාවේ විධිමත් අයුරින් අකුණු පිළිබඳව පර්යේෂණ පැවැත්වූ විද්වතුන් දෙපළක්‌ ලෙස එවකට කොළඹ විශ්වවිද්‍යාලයයේ සිටි මහාචාර්ය කන්නන්ගර සහ මහාචාර්ය ඔස්‌මන්ඩ් ජයරත්න යන මහත්වරුන් හඳුන්වා දිය හැකි ය. ඔවුන් 70 දශකයේ සිට මේ පිළිබඳ විවිධ අධ්‍යයනයන් කර ඇත. එසේ වුවත් 1988 වසරෙන් පසුව ජංගම දුරකථන භාවිතය සහ අකුණු අතර ඇති සෘජු සම්බන්ධයක්‌ පිළිබඳ කිසිදු සාධකයක්‌ සනාථ වී නැත.

අකුණු වලාකුළක්‌ (කැටි වැහි වලාකුළක්‌) තමා සිටින තැනට ඉහළින් ම ඇති විට අකුණු ධාරාවේ ප්‍රබලත්වය ඉතා වැඩි ය. එවිට ඔබ ආරක්‍ෂිත ගොඩනැඟිල්ලක සිටී නම් අකුණුවලින් ඇති වන සෘජු හානි අවම වේ. ජංගම දුරකථනය වුවත් අත්‍යවශ්‍ය ම කාරණයකට භාවිත කිරීම එතරම් ම හානිදායක නො වේ. එහෙත් ජංගම දුරකථනය යනු ඉතා සියුම් ඉලෙක්‌ට්‍රොනික උපාංග (මයික්‍රොප්‍රොසෙසර් ආදිය) ඇතුළත් උපකරණයකි. මෙහි ඇති පරිපථ ඉතා සියුම් ඒවා ය. සෘජු අකුණක්‌ හෝ දරුණු පාර්ශ්වීය අකුණක්‌ හෝ නිසා ජංගම දුරකථනයේ පරිපථයට යම් හානියක්‌ විය හැකි ය. එසේ නොමැති ව පුද්ගලයාට හානි වීමේ සම්භාවිතාව ඉතා අඩු ය. ඇතැම් පුද්ගලයන් ගේ මතය ජංගම දුරකථනවල භාවිත වන ක්‍ෂුද්‍ර තරංග (Micro wave) ඔස්‌සේ අකුණු ධාරා එන බවයි. මෙය පිළිගත නොහැකි සංසිද්ධියකි. මේ තරංග සහ අකුණු ධාරා අතර කිසිදු සම්බන්ධතාවක්‌ නොමැත. අකුණු ධාරාවක්‌ ඇති වන්නේ වලාකුළක පත්ලේ සිට අධික ආරෝපණ විසර්ජනයක්‌ වී වාතයට දරන්නට බැරි ලෙසට විද්යුත් ක්‌ෂේත්‍රයක්‌ හටගත් විටක ය. සාමාන්‍ය අවස්‌ථාවක දී වාතය ඉතා හොඳ කුසන්නායකයකි. එහෙත් මේ වලාකුළුවල ආරෝපණ විසර්ජනය නිසා අවට වාතයේ විද්යුත් ක්‌ෂේත්‍රයේ තීව්‍රතාව අඟලකට වෝල්ට්‌ 70000කට වඩා ඉහළ ගිය විට වාතය තුළින් විදුලිය ගලා යයි. එහෙත් ක්‍ෂුද්‍ර තරංග යනු සාමාන්‍යයෙන් 109 සංඛ්‍යාතයකට වඩා වැඩි අගයක්‌ ඇති විද්යුත් චුම්බක තරංගයි. මේ ක්‍ෂුද්‍ර තරංග තුළින් අකුණු ධාරා ගලයි නම් ක්‍ෂුද්‍ර තරංග භාවිත වන සැම උපකරණයකට ම අකුණු ධාරා ගලා ආ යුතු ය.

මෙහි දී ජංගම දුරකථනවලට වන පරිපථ හානි පිළිබඳව යමක්‌ කිව යුතු ය. අකුණු ධාරා නිසා යම් පරිපථයකට සිදු වන හානිය තීරණය වනුයේ එයට ගලා එන ධාරාව හා එයින් උපදින විභවය මත ය. කෙසේ වෙතත් ඉතා සියුම් පරිපථවලට ඉතා විශාල ධාරාවක්‌ ඇතුළු වුව හොත් එම ධාරාව නිසා ඇති වන තාපය හේතුවෙන් පිළිස්‌සීම් ඇති විය හැකි ය. මෙය අපට ජංගම දුරකථන විවෘත කළ විට දැකගත හැකි ය. එහෙත් බොහෝ විට ඕනෑ ම පරිපථයකට අකුණු නිසා සිදු වන පාර්ශ්වික හානි හේතුවෙන් සිදු වන්නේ අපට ක්‍ෂණිකව දැකිය නොහැකි, කාලයත් සමග එන පරිපථ දෝෂ ඇති වීමයි. ඇතැම් විට ජංගම දුරකථනවලට මෙසේ බලපෑම් ඇති විය හැකි ය. කෙසේ වෙතත් පසුගිය වසර 23ක කාලය තුළ ජංගම දුරකථන සහ අකුණු අතර සම්බන්ධතාව පිළිබඳව අප රටේ නිසි අධ්‍යයනයක්‌ කර නොමැති වීම ඉතා අභාග්‍යයකි. එසේ විධිමත් පරික්‍ෂණයක්‌ කර නොමැති පසුබිමක්‌ තුළ අකුණු අනතුරු, ජංගම දුරකථන අකුණු අවස්‌ථාවක දී භාවිත කිරීම අනතුරු සහිත වුවත් ජංගම දුරකථනය භාවිතයෙන් එතරම් හානියක්‌ සිදු නො වේ. කෙසේ වුවත් දරුණු අකුණු ඇති වන අවස්‌ථාවක දී මේ සියල්ල භාවිතයෙන් මඟහැර සිටීම ව
ඩාත් සුදුසු ය. 

0 comments:

Post a Comment