Friday, June 17, 2011

සතියේ පුවත් අටුවාව

කතක් ගැබිනියක් කළැයි චෝදනා ලැබූ තරුණයන් දෙදෙනාගේ මවට දඩුවම් දීලා

අසල්වාසී විවාහක කාන්තාවක සමඟ යහන් ගතවීම හා ඇය ගැබිනියක වීම සම්බන්ධයෙන් චෝදනා ලත් පාකිස්තාන ගැමි තරුණයන් දෙදෙනකුගේ මව නිරුවත් කොට බලහත්කාරයෙන් ම ඇය ගම්මානය පුරා ඇවිද්දවීමේ සිද්ධියක් වාර්තා වී ඇතැයි පොලීසිය පෙරේදා ප්‍රකාශ කළේය. පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරින් කි. මී. සීයක් උතුරින් පිහිටි නීලෝර් බාලා ගම්මානයේ ඇති වූ මේ සිද්ධියේ දී අසල්වාසී මොහමඩ් සල්මන් අදාළ කාන්තාවගේ පුතුන් සිය බිරිඳ සමඟ යහන් ගත වී අතැයි සැකකර තිබිණ.
කෝපයට පත් සල්මන් සිය සොයුරා සමඟ අදාළ පුද්ගලයන් වන රාසිඩ් හා කාසිම් යන දෙදෙනා සොයා ගිය ද ඒ වන විට ඔවුන් නිවසින් පලාගොස් තිබිණ. නිවසේ සිටියේ ඔවුන්ගේ මව පමණි. මෙහිදී සල්මන් හා ඔහුගේ සොයුරා එම කාන්තාව එළියට ඇද ඇගේ ඇඳුම් සියල්ල ඉරා දමා නිරුවත් වූ ඇය බලහත්කාරයෙන් පාර පුරා ඇවිද්දවා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු පැමිණිලි නොකළ ද අසල්වාසීන් ගෙන් ලත් තොරතුරු පදනම් කර ගනිමින් ඔවුන් නඩුවක් පවරා තිබේ.සල්මන්ලා අත්අඩංගුවට ගත් පොලීසිය දැන් ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යන බව සඳහන්ය.


චිලී ගිනි කන්ද ඉදිරි දිනවලදී තවත් ප්‍රබල විදාරණයන්ට ගොදුරු වන ලකුණු

භූ විද්‍යාඥයෝ අනතුරු අඟවති

දකුණු අමෙරිකාවේ සිට ඔස්ට්‍රේලියාව දක්වා ගුවන් ගමන්වලට මහත් බාධකයක් ව පවතින බියකරු අළු වළාවකට මුල් වූ චිලී ගිනි කන්ද ඉදිරි දිනවලදී තවත් ප්‍රබල විදාරණයන්ට ගොදුරු වනු ඇති බවට භූ විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ. දකුණු චිලියේ ඇන්ඩීස් වැටියේ පිහිටි පුයේහුයේ ගිනිකන්ද විදාරණය වීම ඇරඹුණේ ඉකුත් 4 වනදාය. ඉන් නිකුත් යමහල් අළු කිලෝමීටර 8 ක් උසට අහසට නැඟී ඇත. එහි මධ්‍යස්ථ විදාරණයන් සිදුවිය හැකි තත්ත්වයක් පවතින බව පැවසී ඇත. මෙය චිලි, ආර්ජන්ටිනා, උරුගුවේ, පැරගුවේ, දකුණු බ්‍රසීලය මෙන්ම ඔස්ට්‍රේලියාව වැනි රටවල ගුවන් සේවාවන්ට අසුබ ආරංච්යක් වන්නේය.
මේ රටවල මගීන්ට ගුවන් ගමන් වෙනුවට ගොඩබිම් හෝ මූදු මාර්ග යොදා ගැන්මට සිදුවනු ඇත. චිලී අළු වලාවේ බලපෑමට ගොදුරු වූ මිලියන ගණන් ජනතාව අතරට පසුගිය අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කි මූන් ද එක්ව තිබිණ. දෙවන ධුර කාලයක් සඳහා වන අපේක්ෂත්වය ට සහාය ලබාගැන්ම පිණිස ලතින් අමෙරිකානු සංචාරයක යෙදී සිටින ඔහුට මෙම අළු වලාව නිසා ආර්ජන්ටිනාවේ සිට උරුගුවේ වෙත යාමට සිදුවූයේ යාත්‍රාවකිනි. කොලොම්බ්යාවේ සිට ආර්ජන්ටිනාව දක්වා ගුවනින් පැමිණි ඔහුට කිලෝමීටර 645 ක් දුර බසයෙන් ගමන් කිරීමට ද සිදුව තිබුණු අතර, එය ඔහුගේ 67 වන උපන් දිනය වීම ද විශේෂත්වයක් විය. පේරු නව ජනාධිපති ඔලන්ටා හියුමාලාට ද ආර්ජන්ටිනා ජනාධිපතිනිය හමුවීම සදහා මූදු මාර්ගය යොදා ගැන්මට සිදුව ඇත්තේද එදිනමය.
.


ඉරානයෙන් චන්ද්‍රිකාවක් උඩු ගුවනට

ඉරානය පෙරේිදා රසාද්-1 (නිරීක්ෂක-1 ) නම් චන්ද්‍රිකාවක් සාර්ථක ලෙස අභ්‍යවකාශ ගත කළ බව එරට අල් අලාම් රූපවාහිනියෙන් ප්‍රකාශ වී තිබේ. සෆීර් රොකට්ටුවකින් උඩු ගුවනට විදින ලද එම චන්ද්‍රිකාව පෘථිවියෙන් කිලෝමීටර 260 ක් ඉහළ කක්ෂයක පිහිටන ලද බවත් ඉන් පෘථිවිය ඡායාරූප ගත කළ හැකි බවත් ප්‍රකාශ කර ඇත. පැය 24 කට වරක් 15 වතාවක් පොළව වටා යන මෙම චන්ද්‍රිකාව දෙමසක කාලයක් පවතිනු ඇති බව සඳහන්ය. 2009 දී පළමුවරට චන්ද්‍රිකාවක් ගුවන් ගත කළ ඉරානය 2010 දි කුඩා සතුන් කීප දෙනකු උඩු ගුවනට යවන ලදී.
ඉකුත් පෙබරවාරියේ දී ඉරාන ජනාධිපති මොහමඩ් අහමදීන්ජාඩ් විසින් එරට නිෂ්පාදිත නව චන්ද්‍රිකා මූලාකෘති 4 ක් විවෘත කළේය. ඒවා 2012 මාර්තු මාසයට කලින් අභ්‍යාවකාශ ගත කරන බව ඔහු කියා තිබේ. තවද 2020 වන විට මිනිසකු උඩු ගුවනට යැවීමට අරමුණු කර ගෙන ඇති බවද ඔහු කීවේය. ඉරාන අභ්‍යවකාශ වැඩපිළිවෙළේ මුවාවෙන් ඔවුන් න්‍යෂ්ට්ක යුද ශීර්ෂයන් ගෙනයා හැකි මිසයිල නිෂ්පාදනය කරනු ඇති බවට බටහිර ලෝකය සැක පහළ කර ගෙන ඇතත් ඉරානය පවසන්නේ ඔවුන්ගේ අභ්‍යවකාශ හා න්‍යෂ්ටික වැඩපිළිවෙල මුළුමනින්ම සාමකාමී වුවක් බවය.
.


මෙක්සිකෝ දේශසීමාව ඔස්සේ අමෙරිකාවට

හොර රහසේ මත්ද්‍රව්‍ය මිනිසුන් ගෙනයන්න උමං 150 ක් යොදාගෙන


එක්සත් ජනපදයේ මෙක්සිකෝ දේශසීමාව ඔස්සේ එක්සත් ජනපදයට නීතිවිරෝධීව මිනිසුන් ගෙන ඒමට හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගෙන ඇති උමං 150 කට වැඩි සංඛ්‍යාවක් සොයාගෙන තිබේ. මින් සමහරක් දසක දෙකකට වැඩිකාලයක් තිස්සේ භාවිතයට ගෙන ඇති බව බලධාරීහු කියති. වර්ෂ 1990 දී පළමුවැනි වාර්තාගත උමඟ සොයාගැනීමෙන් පසු නීතිවිරෝධී උමං තැනීම වර්ධනය වී තිබෙන බවත් එතැන් පටන් ඉදිවුණු උමං 154 ක් දැන් සොයාගෙන ඇති බවත් පවසන එක්සත් ජනපද සංක්‍රමණික හා රේගු බලාත්මක අංශය ඉන් එකක් හැර අන් සියල්ලම මෙක්සිකෝව සමඟ පවත්නා නිරිතදිග දේශසීමාවේ පිහිටි බව සඳහන් කර ඇත.
පසුගිය කාලයේදී මෙම උමං සංඛ්‍යාවෙන් පමණක් නොව ඒවායේ පවත්නා පහසුකම් අතින් ද වර්ධනය වී තිබේ. මේවායින් අඩක්ම පිහිටා ඇත්තේ එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තය හා මෙක්සිකෝවේ බජා කැලිෆෝර්නියා නෝටේ ප්‍රාන්තය ඔස්සේය. මේ අනුව නීති විරෝධී උමං තැනීම තහනම් කෙරෙන 2007 දී සම්මත කැර ඇති නීති පද්ධතිය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව පැවසී තිබේ. සොයාගත් උමං සමහරක් ඉතා රළු ස්වභාවයකින් යුක්ත අතර සෙසු ඒවා මනාව සකසා ඇත්තේ අභ්‍යන්තර රේල් මාර්ග හා වාතාශ්‍ර පද්ධති සහිතව බව සඳහන්ය.
.







0 comments:

Post a Comment