බොහෝ ලෝකයන්හි ජීවය තිබිය හැකි අතරම, ඒ ජීවීන් සමහරවිට අපට වඩා දියුණු හෝ එසේත් නැතිනම් අපට වඩා ප්‍රාථමික විය හැකිය. කෙසේ වුවත් අප වසන සෞරග්‍රහ මණ්ඩලයේ නම් ජීවී ග්‍රහලෝකයකට ඇත්තේ පෘථිවිය පමණක්ම බව අපට බොහෝ දුරට ප්‍රත්‍යක්‍ෂ වී හමාරය. නමුත් අප වැරදි විය හැකිය.
සත්‍ය වශයෙන්ම පිටසක්වල ජීවීන් සිටිත්ද ? එසේ නම් මේ තාක් කල් ඔවුන් අපව සම්බන්ධ කර ගත්තේ හෝ අපට ආක්‍රමණයක් සිදු නොකළේ මන්ද ? මේ දකින එළි, මේ වසින වැසි පිටසක්වලට සම්බන්ධ විය හැකිද යන කරුණු විග්‍රහ කරනු වස් මේ ලිපිය ලිවීමට අදහස් කරමි. මේ ලිපිය සංවාදයට විවෘත මෙන්ම, මෙහි අඩංගු දෑ පිළිගැනීම හෝ නොගැනීම ඔබ සතු කාර්යයකි.
විශ්වය අනන්ත සංඛ්‍යාවක් තාරකා, ග්‍රහලෝක සහ වෙනත් සංඝඨක වලින් සමන්විත ඉමක් කොණක් නොපෙනෙන අනන්ත වූ අවකාශයකි. මේ විවෘත අවකාශයේ හඳුනාගත් සහ නොගත් මන්දාකිණි ගිණිය නොහැකි සංඛ්‍යාවක්ද, ඒවායේ අනන්තවූ තාරකා වටා සැදුම්ලත් ග්‍රහමණ්ඩලද පවතී. මේ ග්‍රහ මණ්ඩලයන්හි පෘථිවිය හා සමාන තත්ත්‍වයන් ඇති ග්‍රහලෝක පැවතීමේ සම්භාවිතාවය ඉතා ඉහළ බව සාමාන්‍ය බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඇති. මෙවැනි ග්‍රහමණ්ඩල ඇත්තේ එකක් දෙකක් පමණක් නොවේ. මේ නිසාම අනන්ත විශ්වයේ ජීවය පවතින එකම ග්‍රහලෝකය පෘථීවිය පමණක් යැයි උපකල්පනය කිරීම කළ නොහැක්කකි.
මේ පිටසක්වල ජීවීන්ගේ සිරුරු කෙසේ සැකසී ඇතිද යන්නවත්, කුමක් මත යැපෙනවාද, කුමන වායුවක් ආඝ්‍රාණය කරනවාද, කුමන භාෂාවක් කතා කරනවාද යන්න උපකල්පනය උගහටය. පෘථිවියේ පමණක් ජීවත් වන විවිධාකාර ජාතීන්ගේ විවිධත්‍වය සළකා බලන කල ඔවුහු විවිධාකාර වර්ණ, ශරීර ප්‍රමාණ, භාෂා භාවිතය, ආහාර ක්‍රම ආදී සුවිශාල විවිධත්‍වයකින් යුතු පිරිසකි. පිටසක්වලයින්ගෙන් ද අපට බලාපොරොත්තු විය හැක්කේ මෙවැනි විවිධත්‍වයකි. උදාහරණයක් ලෙස අනාගතයේ පෘථිවි වාසීන් පිටසක්වල ජීවය සොයා යවන යානයක යවන පෘථිවි වාසීන්ගේ නියැදියක සංයුතිය විය හැක්කේ කුමක්ද ? බොහෝ විට එම යානය පිටසක්වලට යවන රටෙන් තෝරාගත් පිරිසක්ද ? එසේත් නැතිනම් ලෝකයේ ජනගහන අනුපාතයට අනුව සැකසුන සංයුතියක්ද ?
මේ න්‍යායම අප පිටසක්වල ජීවීන් ඇතුලත් යානයකට යෙදූ විට අපට කුමන වර්ගයේ ජීවී කොට්ඨාසයක් දක්නට ලැබේද ? එසේම ඔවුන්ට පෘථීවි පරිසරය තුළ පැවැත්මක් තිබිය හැකිද ? උදාහරණයක් ලෙස අප ආශ්වාස කරන 78% ක නයිට්‍රජන් වායුව සහ 20.8 % ඔක්සිජන් අඩංගු වාතය ඔවුනට විශ සහිත වන්නට පුළුවන. ඔවුහු වෙනත් වායුවක් ආශ්වාස කරන පිරිසක් වන්නටද පුළුවන. අපේ ජීවය ගොඩනැඟෙන්නේ නයිටජන්, ඔක්සිජන්, හයිඩ්‍රජන්, සල්ෆර්, පොස්ෆරස් සහ යකඩ වැනි මූලද්‍රව්‍ය ආශ්‍රයෙන් වුවත් ඔවුන් වෙනත් මූලද්‍රව්‍ය සංඝඨක කරගෙන තැනුන සංයෝගවලින් සමන්විත ජීවීන් කොට්ඨාසයක් විය හැකි සම්භාවිතාවය ඉතා ඉහළය. මිනිසාට වෙනත් ග්‍රහලෝකයක පැවැත්මක් නැති සේම ඔවුනටද පෘථිවියේ පැවැත්මක් නොතිබිය හැකිය. මේ නිසා පෘථිවිය මත පිටසක්වල ජීවීන් ක්‍රියාකාරීව (ජීවී තත්ත්‍වයෙන්) දැකීම ඉතා විරල කරුණක් විය හැකිය.
මේ හා සමානවම නැගෙන ප්‍රශ්නය නම්, ඔවුන් පියවි ඇසට දැකිය හැකිද යන්නයි. අප දෘෂ්ඨි පරාසය පවතින්නේ නැනෝමීටර 350 සිට 750 ක් දක්වා සුළු පරාසයක පමණි. පිටසක්වල ජීවීන් අපේ දෘෂ්ඨි පරාසයටම අයත් වේදැයි යන්න අපට කිව නොහැක. සමහරවිට ඔවුහු පාරජම්බුල කිරණ හෝ අධෝරක්ත කිරණ දෘෂ්ඨි සංවේදනය පිණිස භාවිතා කරන කාණ්ඩයක් වන්නට පුළුවන. මේ නිසාම අපට පිටසක්වල ජීවින් සිටියත් දැකගන්නට ලැබේද යන පැනයට පිළිතුරු සැපයීමට ද සිදු වේ. එමෙන්ම ඔවුන්ගේ ශ්‍රවණ පරාසය කුමක් විය හැකිද ? මනුෂ්‍ය ශ්‍රවණ පරාසය හර්ට්ස් 20 සිට 20000 දක්වා වුවත් වෙනත් සතුන්ගේ පවා මෙයට වඩා වෙනස් පරාස පවතී. එසේම පිටසක්වල ජීවීන්ගේ ශ්‍රවණ පරාසය අපට සමගාමී විය හැකිද ? පිටසක්වලට කන් යොමා සිටින දියුණු රටවල් සිය ඉලෙක්ට්‍රොණික ශ්‍රවණ උපකරණ සෑම සංඛ්‍යාතයකටම පාහේ සුසර කර තිබුණත්, තවමත් සතුටුදායක පිළිතුරක් නොලැබුණේ ඇයිද ? මේ ප්‍රශ්න අපට සරළව පිළිතුරු දිය හැකි ප්‍රශ්න නොවේ.
Thursday, August 15, 2013
ජීවීන් වසන එකම ලොව පෘථිවිය විය නොහැක
4:18 AM
No comments
0 comments:
Post a Comment