Sunday, January 15, 2012

වයි දිස් කොලවෙරි ඩී ගීතය ගැයූ ධනුෂ් ගැනයි මේ






ඔහු සුපිරි නළු රජ්නි කාන්ත්ගේ බෑණා
මීට මාස කීපයකට පෙර දකුණු ඉන්දියාවේදී නිර්මාණයවූ   ‘වයි දිස් කොලවෙරි, කොලවෙරි, කොලවෙරි ඩී’ කියන ටැංග්ලිෂ් ගීතය (දමිළ බස හා ඉංග්‍රීසි මුසුවූ) අද වනවිට භාෂා භේදයකින් තොරව මුළුලොවම පාහේ මුමුනණ ගීයක් බවට පත්වෙලා.
මෙම ගීතය ගායනා කරන්නේ ජනප්‍රිය දකුණු ඉන්දීය නළුවකු මෙන්ම ගායකයකුද වන ධනුෂ්. එහි පද රචනාකොට ඇත්තේද ඔහු විසිනුයි. ගීතයේ තනුව නිර්මාණය කළේ 18 හැවිරිදි යොවුන් සංගීතඥයකු වන අනිරුද් රවිචන්දර් විසින්. ඔහුට මේ සඳහා ගතව ඇත්තේ විනාඩි 5ක තරම් කෙටි කාලයක්.
ධනුෂ් කියන්නේ දකුණු ඉන්දියාවේ සුපිරි තරුවක් වන රජිනි කාන්ත්ගේ බෑණායි. ඔහු විවාහ කරගෙන ඉන්නේ ඔහුගේ දියණියක වන අයිශ්වර්යායි. ඇය නිෂ්පාදනය කළ ‘3’ චිත්‍රපටයේ එන මේ ‘කොලවෙරි’ ගීතය චිත්‍රපටයේ ගයන්නේ පරාජිත පෙම්වතෙක්. ඔහු බිමතින් මෙම ගීය ගායනා කරමින් තම පෙම්වතියගෙන් අසන්නේ ‘මා සමග මරන්න තරම් කේන්තියකින් ඔබ පසුවන්නේ ඇයි කියායි.’
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අගනගරය වන චෙන්නායිහි 1983 ජූලි 28 දින උපත ලද ධනුෂ්ගේ උප්පැන්න සහතිකයේ සඳහන් නම වෙන්කතීෂ් ප්‍රභූ කස්තුරි රාජා යන්නයි.
ඔහු සිනමාවට පිවිසියේ ඔහුගේ පියා චිත්‍රපට අධ්‍යක්ෂ කස්තුරි රාජා අධ්‍යක්ෂණය කළ ‘තුල්ලුවාඩු ඉලමෙයි’ චිත්‍රපටයෙන්. එය ආදායම් අතින් සාර්ථක වුණා. නමුත් ධනුෂ්ගේ රංගන දිවිය ගැන කාගෙත් කතාබහට ලක්වූ චරිතය වූයේ ඔහුගේ සොයුරු සෙල්වරාගවන් අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටය වූ ‘කාදල් කොන්ඩේන්’ චිත්‍රපටයේ විනෝද් නම් මානසික ආබාධයකින් පෙළෙන තරුණයාගේ චරිතයයි. එතැන් සිට ඔහු දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි යැයි සම්මත නළුවන් අතර රැඳී සිටින තරුවක් බවට පත්වූහ.
ඔහු ගායන ක්ෂේත්‍රයට පිවිසියේ ‘පුදු කෝට්ටෙයියිලිරුන්දු සරවනන්’ චිත්‍රපටයේ ගීයක් ගයමිනුයි. එතැන් සිට චිත්‍රපට කීපයකම ගී ගැයූ ඔහු ගායකයකු ලෙස ජනප්‍රියත්වය දිනාගැනීමට සමත්වූයේ ඔහුගේ බිරිඳ අයිශ්වර්යා රජිනි කාන්ත් නිෂ්පාදනය කළ ‘3’ චිත්‍රපටයේ ‘වයි දිස් කොලවෙරි, කොලවෙරි, කොලවෙරි ඩී’ ගීයෙන්. මුළු ඉන්දියාවේම පමණක් නොව මුළුමහත් ලොවේම ජනප්‍රියවූ මෙම ගීතය ලන්ඩනයේ බි.බි.සී. ගුවන් විදුලියේ විකාශය කළ මුල්ම දමිළ චිත්‍රපට ගීය ලෙසද වාර්තාවක් තැබිමට සමත්වූහ.
ධනුෂ්ගේ පවු‍ලේ අයගෙන් වැඩිදුර ඉගෙන නොගත්තේ ඔහු පමණයි. ඔහුගේ සොයුරියන් දෙදෙනා වෛද්‍යවරියන් වන අතර චිත්‍රපට අධ්‍යක්ෂ සොයුරා ඉංජිනේරුවරයෙක්. නළුකම ඔළුවට ගැනීම නිසා ඔහුගේ අධ්‍යාපනය එතරම් දුරදිග ගියේ නැහැ. වසර 2004 නොවැම්බර් 18 දින ඔහු රජිනි කාන්ත්ගේ වැඩිමල් දියණිය අයිශ්වර්යා සමග විවාහ වූහ. එවිට ඔහුගේ වයස අවුරුදු 21ක් වූ අතර ඇගේ වයස අවුරුදු 23ක් වූහ. තමන්ට වඩා වයසින් වැඩි තරුණියක් හා විවාහවීම පිළිබඳව ඔහුගෙන් විමසූවිට ඔහු පවසා ඇත්තේ ආදරයට වයස කෙසේවත් බලනොපාන බවයි. අද ඔවුන් යාත්‍රා නමින් 6 හැවිරිදි පුතෙකුගේ සහ ලින්යා නමින් දෙහැවිරිදි පුතෙකුගේ දරු සුරතල් බලන දෙමවුපියන්.
තම සිනමා ගමනේදී රංගන කුසලතාවන් වෙනුවෙන් ධනුෂ් 2011දී ‘ආඩුකාලම්’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම නළුවාට හිමි ‘ජාතික චිත්‍රපට සම්මානයෙන්’ පිදුම් ලැබුවේ එම සම්මානය හිමිකරගත් ළාබාලම නළුවා ලෙස වාර්තාවක්ද තබමිනුයි.

0 comments:

Post a Comment