Wednesday, August 8, 2012

රාවනා රජතුමාගේ "පිසිනතල" හමුවෙයි. පිස්තෝලය මුලින්ම සොයාගත්තේ හෙළයින්!

මීට දින කිහිපයකට පෙර නිල්ගල වනාන්තරය මධ්‍යයේදී කරන ලද පුරාවිද්‍යාත්මක කැණීමකින් රාවනා රජතුමාට අයත් යැයි විශ්වාස කරන පිස්තෝල 2 ක් හමුවී තිබේ. එම කැණීම භාර පුරාවිද්‍යා නිලධාරි තුමා මාගේ මිත්‍රයෙක් බැවින් එය නැරඹීමට මා හටත් ඉතාමත් රහසිගතව අවස්ථාව සලසා දුණි. නමුත් ඔවුන්ගේ ආරක්ෂක සීමාවන් නිසා මා හට කැමරාවක් තියා ජංගම තෙලබනුවවත් ‍රැගෙන යාමට නොහැකි විය.

අදාල කැණීම කර ඇත්තේ පොළොව යටට මීටර 505 ක් ගැඹුරට වන්නට වන අතර  එහි තිබූ ගල් පෙට්ටගමක් මධ්‍යයේ පිස්තෝල 2 නිදන් කර තිබුණි. එම පිස්තෝල වැඩ කරන්නේ ඉතාමත් පැරණි හෙළ විද්‍යාත්මක ක්‍රමයට වන අතර රසදිය සහ වේද මැතිරීම් ඒ සඳහා යොදා ගනී.

සෑම හෙළ ගවේශකයෙක්නම් ග්‍රැ‍ෆික් නිර්මාණකරනය වඩාත් හොඳින් ඉගෙන ගෙන තිබිය යුතු බව ඔබ දන්නවා ඇති. ඒ අනුව මාත් ග්‍රැ‍ෆික් තාක්ෂණය යම් පමණකට හදාරා ඇත්තෙමි. ඉතින් මාගේ මතකයේ හැටියට එම පිස්තෝල වල පින්තූර නිර්මාණය කළ අතර ඒවා පහත දැක්වෙයි. 



එම පිස්තෝල වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලය වෙත යවා ඇති බව ආරංචි විය. නමුත් හෙළ ඉතිහාසය හෙළයින්ගෙන් සැඟවීම අපගේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ න්‍යාය පත්‍රයක් බවනම් අප හොඳාකාරවම දනිමු. මීට පෙරදී හමුවූ හෙළ ඇටසැකිල්ලට ඔවුන් කළේත් එලෙස එංගලන්තයට යැවීමයි.

කෙසේ නමුත් මාව මවිතයට පත් කරමින් රාවණා රජතුමාට තිබුණ ආකාරයේම පිස්තෝල යුරෝපීයයන්ද භාවිතා කර ඇති බව අන්තර්ජාලය පිරික්සීමේදී දක්නට ලැබුණි. සුද්දන් අප රට යටත් කරගෙන සිටියදී හෙළයින්ගෙන් පැහැරගෙන ගොස් තිබූ හෙළ පොස්කොළපොත් වල තිබූ තාක්ෂණය යොදා ගනිමින් එම පිස්තෝල නිර්මාණය කර ඇති බව විද්වත් මතයයි. 1505 දී සුද්දන් අප රටට ගොඩ බැසීමත් ඒ සමගම යුරෝපයේ පිස්‍තෝල නිෂ්පාදනය ආරම්භ වී 1544 වන විට ප්‍රංශයේත් පිස්තෝල ව්‍යාප්ත වීමත් අතර ඇති සම්බන්ධයෙන් ඔබට එය වඩාත් පැහැදිළි වේවි.

රාවණා රජතුමාට පිස්තෝල නොතිබූ බවට පාහර රාවණවිරෝධීන් පැවසීමට හැකි නිසා සියල්ලන්ගේම දැනගැනීම පිණිස කරුණු කාරණා පෙළගස්වමි. පහත කරුණු වලින් සමහර දේවල් අපගේ යාළුවක් වත්පොතේ ලියා තිබූ බවත් කිව යුතුයි.

1. පිස්තෝලය යන්නේ පද නිරුක්තිය වර්ගපූර්ණිකා‍ටුවාවට අනුව මෙලෙස විග්‍රහ වෙයි. පිස්=පිසින, ‍තෝලය=තලය. "පිසිනතලය" පසු කාලයේදී පිස්තෝලය බවට පත් විය. හෙළයින්ගේ පුස්කොළපොත් වලින් පිස්තෝලය නිපදවූ පර සුද්දන් ඒ සඳහා යොදාගත්තේත් හෙළයින් ඊට භාවිතා කළ නමට සමානවම යන පරිදි "පිස්ටෝල්" යන්නයි.

2. පිසිනතලය ලෙස එදා හෙළයින් එය හැඳින්වූයේ නිකම්ම නොවේ. පිසිනව යනු සුද්ද කරල දැමීමනේ. රාවනා රජතුමාගේ සතුරන්ව සුද්ද කරල දාන තලය. බලන්න ඉහත පිසිනතල පන්තියේ ආයුධ පෙනෙන්නේ පොරෝ "තලය"ක් මෙන් නොවේද?

3. රාවණ රජතුමාට ගුවන් යානා තිබූ බවත්, රාවණ රජතුමා වෙනත් ග්‍රහලෝක වල ජීවීන්ව පවා යටත් කරගත් බවත් ඔබ හොඳාකාරව දනී. ඉතින් ගුවන් යානයකට වඩා ඉතාමත් ප්‍රාථමික තත්ත්වයේ උපකරණයක් වන පිස්තෝලයක් රාවණ රජතුමාට නොතිබේවිද? රාවණා රජතුමාට පිස්තෝලයක් තිබූ බව කී විට හිනා වුන උදවිය, රාවණා රජතුමාට ගුවන් යානා තිබූ බව කී විට කොහොම හිනැහේවිද?

4. මුලදීම මා පැවසූ පුරාවිද්‍යාත්මක කැණීමට මූලික වූයේ නිල්ගල ක‍ටුකුරුට නැමති රහස්‍ය ගල් ගුහාවේ තිබූ සෙල් ලිපියක සඳහනකි. එය ඡායාරූප ගත කිරීමට හෝ සටහන් කර ගැනීමට මා හට අවසරය නොලැබුණත් එහි දැක්වුණ සංකේත මතකයේ තබා ගතිමි. ඒවා මෙසේය. 


5. එම සෙල් ලිපියෙන් දැක්වෙන්නේ "මත ස බ දහ රව රජ පසත ද න ක ශශප"යනුවෙනි. එහි අදහස වන්නේ "මෙතැන් සිට බඹ දහයක් ඈතින් ශ්‍රී රාවණ රජතුමාගේ පිසින තල දෙකක් නිදන් කර ඇත." එය බ්‍රාහ්මීය අක්ෂර වලින් තිබූ බැවින් රාවණා රජතුමාට පසු කාලයේදී නිදන් කර තිබූ බව සිතාගැනීමට පුළුවන. එසේම ශිලා ලිපියේ කාබන් පරීක්ෂාව අනුව එය ක්‍රි.පූ.3 වන සියවසට අයත් බව දක්නට ලැබේ.

6. රාවණ රජතුමාගේ පිසින තලය ගැන විස්තර වර්ගපූර්ණිකාවේ පිසතලශාස්ත්‍රය නැමැති ටීකාවේ දැක්වෙයි. එම පුස්කොළපොත් රවිශෛලාශ හෙවත් රාජකරුණා වංශයේ යකුන් අතර තවමත් රහසක් ලෙස තබා ගන්නා බැවින් වැඩිදුර හෙළි කිරීමට නොහැකිය.

ඉහත ප්‍රබල පුරාවිද්‍යාත්මක පර්යේෂණ සාක්ෂි වලට අමතරව තවත් කරුණු කීපයක් කිය යුතුය.

රාවණාවිරෝධීන්ගේ ප්‍රධානතම පුස්තකය වන මහාවංසයේ හෝ වෙනත් කිසිදු වංස කතා පොතක කොතනකවත් රාවනා රජතුමාට පිස්තෝලයක් නොතිබූ බවට සඳහනක් නොමැත. ඒ අනුව රාවණා රජතුමාට පිස්තෝලයක් තිබූ බව මහාවංසවාදීන්ට ප්‍රතික්ෂේප කිරීමට නොහැකියි.

රාවනා රජතුමාට පිස්තෝලයක් නොතිබූ බවට කිසිදු සෙල් ලිපියක් නොමැත. ඒ අනුවත් රාවණා රජතුමාට පිස්තෝලයක් නොතිබූ බව ප්‍රතික්ෂේප කිරීමට නොහැකියි.
  
සුද්දා ලේසර් හදන්න තාක්ෂණය ගත්තේ ශ්‍රී රාවණ රජතුමාගෙන් බව සියලුම රාවණ ගවේශකයින් දැන් ඒකමතිකව පිළිගනී. ෆේස්බුක් හි සුප්‍රසිද්ධ රාවණ ගවේශකයෙක් සහ පුලතිසි පරම්පරාවේ අවසාන පුරුක වශයෙන් සැලකෙන මෙතුමාගේ කතාවෙන් ඒ බව පැහැදිළි වෙයි.


එසේනම් ලේසර් වලට වඩා ඉතාමත් ප්‍රාථමික තාක්ෂණයක් වන පිස්තෝල තාක්ෂණය රාවණා රජතුමාට තිබුණා කියා දැන් මුළු ලොවම පිළිගනිද්දී ඊට හිනා වෙන රාවණා විරෝධීන් ඇතොත් උන්ව ගෝල් ෆේස් පිටියට දක්කාගෙන අවුත් මඩු වලිගෙන් තැලිය යුතුය. හෙළය දිනේවා!

0 comments:

Post a Comment