Wednesday, August 15, 2012

වසර 22ක්‌ වැටුප් නොගෙන සේවය කරන උතුම් ගුරු මවක්‌....................... !

ලෝකයේ බොහෝ රටවල මෙන්ම අපේ රටේත් නිරන්තරවම විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයෝ විවිධ ඉල්ලීම් වෙනුවෙන් උද්ඝෝෂණ කරති. වැඩ වරති. අකුරට වැඩ කරති. පොදු දේපළ වලට අලාභ හානි කරන අවස්‌ථාද වෙති. පොදු ජනයාට ඉන් විවිධ නොසිතූ කරදර වලට මුහුණ පෑමටද සිදු වෙති.

එහෙත් පුරා වසර 22 කිසිම වේතනයක්‌ නොලබා ආත්මතෘප්තිය පිණිසම පැය අටකට වැඩි කාලයක්‌ පාසල් දරුවන් වෙනුවෙන් සේවය කරන මවක්‌ සිටියි. ඇයගේ නම නන්දාවතී සෙනෙවිරත්නය. වයස අවුරුදු 68 කි. බදුල්ල ඉඹුල්ගොඩ, උදයගම, අංක 49 නිවසේ වාසය කරන ඇය පස්‌දරු මවකි. එහෙත් දරුවන් සහ විවාහක ස්‌වාමි පුරුෂයා ඇය සමඟ වාසය කරන්නේ නැත. නිවෙස්‌වල වැඩකරමින් තම දරුවන් පස්‌ දෙනා පාසල් යවමින් උස්‌ මහත් කළ ඇය වියපත් කාලය සතුටින් ගත කිරීම පිණිස බදුල්ල සිරි සුමන මහා විද්‍යාලයේ දරුවනට සහ ගුරුවරුන්ට විවිධ අයුරින් උදව් කරමින් දවස ගෙවමින් සිටින්නීය. මාසිකව ලැබෙන සමෘද්ධි ආධාරය රුපියල් 350 සහ මහජන ආධාරය රුපියල් 200 මැයගේ සියලු වියදම් සඳහා යොදා ගන්නේ ඉතාමත් අරපරිස්‌සමින් අවශ්‍ය දැ මිලදී ගැනීමෙනි.

නොයෙකුත් මිල මුදල්වල අවශ්‍යතා ඇතත් ගත වූ වසර 22 කාලය තුළ සිරි සුමන මහා විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් කාලය කැප කිරීමට දක්‌වන්නේ මහත් වූ කැමැත්තකි. විදුහල්පති එච්. ජී. ජයතිස්‌ස මහතා පවසන පරිදි මෙම කාලය තුළ පාසලට නොපැමිණ ඇත්තේ දින දෙකක්‌ පමණි.

ඇය සෑම දිනකම උදේ 7.00 වන විට පාසලට පැමිණෙයි. එතැන් සිට නාම ලේඛන පන්තිවලට ගෙන යයි. ගුරුවරුන්ගේ ලිපි, පණිවිඩ ගෙන යයි. ප්‍රාථමික අංශයේ දරුවන්ගේ අවශ්‍යතා මත වැසිකිළි කැසිකිළි වෙත ගෙන යන අතරම සෝදා පිරිසිදු කිරීම් ද කරයි. හදිසියේ අසනීප වන දරුවන් ඔවුන්ගේ නිවෙස්‌ කරා කැඳවා ගෙන යැමට කටයුතු කරයි. දවසේ වැඩි කාලයක්‌ ප්‍රාථමික අංශයේ කාලය ගත කිරීමට කටයුතු කරන ඇය අවශ්‍ය පරිදි පාසලේ දී පවරණ සෑම කටයුත්තක්‌ම ඉටු කරන්නේ සිනහව පිරුණු මුහුණක්‌ ඇතිවයි. ඇසූ පැනයට පිළිතුරු දෙමින් මම ඉන්නේ ආණ්‌ඩුවෙන් හදා දුන් උදාකළ ගමක නිවසක. ගමට විදුලිය සහ ජලනළ පහසුකම් ඇතත් මගේ නිවසට එම දේවල් නැහැ. වතුර අලකොළපීල්ලට ගිහින් ගෙනෙනවා. මොනවා නැති වුණත් දරුවන්ට උදව් කරන්න මම කැමැතියි. පාසලේ දරුවෝ වාගේම විදුහල්පතිතුමා සහ ගුරුවරු ගුරුවරියෝ මට ආදරෙයි. දරුවෝ ගුරුවරුන්ට වාගේම මටත් වැඳලා පාසල ඇරුනාම යන්නේ.

පාසලටත් දරුවන්ටත් දසක දෙකකට වැඩි කාලයක්‌ විශිෂ්ට සේවයක්‌ කර ඇති බව පවසන වර්තමාන විදුහල්පති එච්. ජී. ජයතිස්‌ස මහතා ඇයගේ අගනා සේවය ඇගයීමට ලක්‌ කළ යුතු බව පැවැසුවේය. නිහඬ සමාජ මෙහෙවරක යෙදෙන නන්දාවතී සෙනෙවිරත්න මාතාවට නිරෝගී දීර්ඝායුෂ පතමු. 2012-08-11~බදුල්ල එච්. එම්. සමරකෝන් බණ්‌ඩාර~

0 comments:

Post a Comment