Saturday, August 4, 2012

බුදු දහම ගැන කතාවක්

ගණිතඥයකු, ව්‍යාපාර පරිපාලනය හා සැලසුම්කරණය පිළිබඳ උගතකු වන, පිලිපීනයේ උපන් ‘චෙස්ටර් ඩී’ ආගම් පිළිබඳ ව ද බොහෝ දැනුම් ඇත්තෙකි. මේ තමා බුදු දහම පිළිගන්නේ මන්දැ යි පහදමින් ඔහු ලියූ ලිපියෙහි සිංහලානුවාදය යි....

මගේ ජීවිතය කෙරෙහි බුදු දහම නැවත වතාවක් බලපෑම් කිරීමට පටන්ගත්තේ එයින් බොහෝ කලකට පසු, මා විශ්වවිද්‍යාලයේ අවසන් වර්ෂවල සිටියදී ය. එක් අතකින් මේ වන විට පොත් මිලයට ගැනීමට තරම් මා අත මුදල් තිබිණි.

අනෙක් අතට පෙරදිග ආගම් පිළිබඳව උනන්දුවක් දක්වන අය සඳහා ම විශේෂයෙන් පවත්වාගෙන ගිය අලුත් පොත් වෙළෙඳසල් කීපයක් ද සොයාගැනීමට මට හැකි විය. මෙම සාධක ද විශ්වවිද්‍යාල ජීවිතය තුළදී මුහුකුරා ගිය මගේ දෘෂ්ටිය ද නිසා නැවත වතාවක් බුද්ධ ධර්මය පිළිබඳව මා තුළ වූ තද උනන්දුව ඉස්මතු වීමට පටන් ගත්තේ ය. මගේ ජීවිතයෙහි ප්‍රථම වරට මට ප්‍රමාණවත් තරම් සූත්‍ර පරිවර්තන ද, අටුවාවන් ද, ව්‍යාඛ්‍යානයන් ද ලබාගැනීමට පිළිවන් විය. මේවා කියවීම නිසා මා තුළ ඇති වූ ඝට්ටනය ඉතා දැඩි විය

කිසියම් ආගමක් කෙරෙහි පුද්ගලයකු තැබූ විශ්වාසය බිඳවැටී, වෙනත් ආගමක් වැලඳගැනීමට ඔහු පෙලඹෙන්නේ කුමන හේතුවක් නිසා ද? ඇතැම් අය සම්බන්ධයෙන් එය ආශ්චර්යවත් බලපෑමක ප්‍රතිඵලයක් වශයෙන් ද හඳුන්වාදීමට පසුබට නොවන, ක්ෂණික අතිවිශේෂ සිද්ධියකි. සමහරකු සම්බන්ධයෙන් එය සිද්ධ වන්නේ තැනින් තැන අවුරුදු ගණනාවක් තිස්සේ එය සොයා ඇවිදිමින්, එහි ස්වරූපය මෙසේ විය යුතු යැ යි සිතාගැනීමෙන් ද පසු, රසඥයකුට අලුත් කෑමක් හමු වූ විට මෙන්, ඒ සම්බන්ධ ව ගුරුවරයකු අහම්බෙන් හමු වීමෙන් පසු ව ය. තවත් සමහරුන් එවැනි පියවරක් ගන්නේ, ඒ ගැන බොහෝ දුරට ස්වාධීන ව සිතීමෙන් සහ සංසන්දනය කිරීමෙන් පසු ව ය. මේ අතර තවත් සමහරෙක් ආගමික රැස්වීමකට සහභාගී වන ලෙස මිතුරකු අනියමින් කළ ආරාධනය පිළිගැනීමෙන් පසු එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ ආගම වැලඳගනී.

එහෙත් මා සම්බන්ධයෙන් සලකන විට නම්, මා තුළ ධර්මය සම්බන්ධ අවබෝධය ඇති වූවේ ඉතා සෙමෙනි. බිඳෙන් බිඳ එය වෑස්සුණු නමුත්, ඉන් කිසි ම කාන්දු වීමක් ඇති නොවූ තරම් ය. මේ පරිවර්තනයේදී කිසියම් වැදගත් සිහිකටයුතු සිද්ධියක් ද සිදුනොවූ නිසා, පරිවර්තනයෙහි එක් අවධියක්, අනෙක් අවධියෙන් වෙන් කර දැක්වීමට ඉවහල් වූ රේඛාවක් බඳු සිද්ධි කිසිවක් ද එහි නො වී ය. මම මහලු වයස, ව්‍යාධි හා මරණය ද දිටිමි. එහෙත් සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේට මෙන්, මට ඒ ගැන නිසි අවබෝධයක් ඇති නො වී ය.

මගේ සිහියෙහි නොමැකී පවතින, මගේ අවධානයට යොමු වූ, පැරණි ම සිද්ධිය නම්, සාපේක්ෂ වශයෙන් දැඩි කතෝලික භක්තිවන්තයන් සිටි මා වැඩුණු චීන ගෘහයෙහි දකින්නට ලැබුණු ආලෝකය යි. විදුලි බුබුළක දිලිසීම, සූර්යාගේ දීප්තිය, තාරකාවන්හි බැබළීම තරම් වෙනත් කිසිවක්, ඒ සා ප්‍රාණවත් ව ද සියුම් ව ද ගුප්ත ලෙස ද, සෑම තැන ම පැතිරී ඇති බවක් දක්නට ලැබුණේ නැත.

ඉදින්, මම ඉතා කුඩා කාලයෙහි සිට ම මා සමඟ ක්‍රීඩාවෙහි යෙදුණු මගේ යහළුයෙහෙළියන් බයිසිකල්, තුවක්කු හා දුනු හී ගැන උනන්දුවක් දක්වද්දී ලාම්පු, ප්‍රදීපාගාර, ගින්දර, පළිඟු හා පී‍්‍රස්ම කෙරෙහි උනන්දුවක් දැක්වූයෙමි. ආලෝකය පිළිබඳ ව වූ මගේ මේ උනන්දුව, මගේ ළමා කාලයෙහි සිට නව යොවුන් විය දක්වා ම පැවති අතර, ඇතැම් විට එය ඉනුත් ඔබ්බට පැවතියේ යැ යි සිතිය හැකි ය. කාරණයක් හැටියට සලකතොත් එය මුලදී මගේ සිත භෞතික විද්‍යාව කෙරෙහි යොමු කරවීමටත්, පසුව ගණිතය කෙරෙහි යොමු කරවීමටත් හේතු විය.

කෙසේ වුව ද, මගේ සැලකිල්ලට භාජනය වූ තවත් එක්තරා ආකාරයක ආලෝකයක් ද විය. එය වුකලි දෘශ්‍යමාන අදෘශ්‍යමාන සියලු දෙයෙහි මැවුම්කරුවා වූ ද, විද්‍යමාන ව පවතින සියලු දේවල ප්‍රභවය වූ ද, පරමෝත්කෘෂ්ට දෙවියන් වහන්සේට කතෝලික දෙව් මැඳුරෙහි බිශොප්තුමා විසින් අල්තාරය අබියස ඒ මේ අත පද්දවන ලද දුම්කබලෙන් නිකුත් වූ සුවඳ දුමත් සමඟ ම වෙළී පැතිරී ගිය, සුමධුර ග්‍රෙගෝරියන් ගායනය මගේ සවනත වැකුණු විට, මා තුළ ඇති වූ උණුසුම් අභ්‍යන්තර ආලෝකය යි!

සමහර විට මෙම අභ්‍යන්තර ආලෝකය සහ බාහිර ආලෝකය අතර, කිසියම් සම්බන්ධතාවක් ඇතැ යි යන දුර්වල හැඟීමක් මගේ මනසෙහි කිසියම් අඳුරු තැනක ඇති විය. සමහර විට ඒවා යුග ගණනාවකට ඉහත වෙන් වී ගිය, දැන් නැවත එක් වීමට ප්‍රයත්න දරන එක ම ආලෝක කදම්බයක් වුව ද විය හැකි ය. ඒ වූකලි ඉතිහාසයට අයත් ප්‍රවෘත්තියකි. මෙම කුඩා ආලෝක කදම්බ (ලෝකය ඇති වූවේ මේ කුඩා ආලෝක කදම්බ එක්රැස් වීමෙනි) යළිත් කෙසේ හෝ එක් වී කිසියම් උත්තරීතර එක්සත්කමක් ළඟා කරගත හැකි ස්ථානයකදී සන්තෝෂ වීමට ප්‍රයත්න දරයි. අවසාන වාසස්ථානය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පුළුවන්කම ඇත්තේ හුදෙක් එයට ම පමණකි.

මේ විදියේ සිතුවිලි මගේ සිතෙහි භ්‍රමණය වෙමින් පවතිද්දී, මගේ සිත වේදාන්ත දර්ශන දෙසට යොමු වීම පුදුමයක් නො වේ. අප වූකලි දිලිසෙන මුහුද සමඟ එක් වීමට උත්සාහ දරන පිනිබිඳු ද? නැති නම් පවතින්නේ තමන්ගේ අනන්‍යතාව වටහා නොගත් රළපෙළින් යුක්ත දිලිසෙන මුහුද පමණක් ද යන්න සලකා බැලීම මෙහිදී වැදගත් වන්නේ නැත. වැදගත් වන්නේ දිලිසෙන මුහුද ය; එනම් අද්විතීය, අසහාය තැනැත්තා වන බ්‍රහ්මන් ය. ශරීරයෙහි ද ආශ්වාස ප්‍රශ්වාසයෙහි ද මනසෙහි ද සියලු ක්‍රියාකාරකම් නිශ්චලතාවට පත් කරමින්, පරම සත්ත්වයා ද සචේතනිකත්වය ද ප්‍රමෝදය ද ප්‍රභාවත් වීමට ඉඩ සැලසෙන තෙක්, ආධ්‍යාත්මික අභ්‍යාසය හාත්පස පරිභ්‍රමණය වීමට පටන් ගත්තේ ය.

මෙම කාලපරිච්ඡේදය තුළ බුද්ධ ධර්මය ගැන කියවීමට මට ඉඩ ප්‍රස්තාව සැලසුණේ ඉතා අල්ප වශයෙනි. ප්‍රාථමික පාසලක පුස්තකාලයකින් කෙනකුට ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වීමට ද පුළුවන්කමක් නැත. එසේ වූවත්, ඒ පිළිබඳ ව කිසියම් ඉගෙනීමක් ද සිදු විය. දිවයින මැද දැවැන්ත බුද්ධ ප්‍රතිමාවක් පිහිටුවා ඇති බව මා දැනසිටි තායිවානයට මගේ දෙමව්පියෝ මා කැටුව ගියහ. එම ප්‍රතිමාව බැලීමට මා රැගෙන යන ලෙස මම මගේ දෙමව්පියන්ට දින ගණනක් තිස්සේ තරයේ ම කියා සිටියෙමි. ඒ කුමක් නිසා දැ යි කීමට මට පුළුවන්කමක් නැත. අන්තිමේදී මගේ දෙමව්පියන් මට අනුකම්පාව දක්වමින් මගේ ඉල්ලීමට එකඟ වූ අතර, අපි සියලු දෙනා ම එක් වී, පැය හතරක කාලයක් ගෙවා දුම්රියෙන් එම ස්ථානයට ගියෙමු. මින් පසු, මම තායිවානයට ගිය සෑම අවස්ථාවක ම බෞද්ධ විහාරස්ථානවලට යෑම පුරුද්දක් කරගතිමි. මේ කාර්යයේදී මම බෞද්ධ සිද්ධස්ථාන, තාඕ සිද්ධස්ථානවලින් වෙන්කොට හඳුනාගැනීමට සෑම උත්සාහයක් ම දැරූයෙමි.

එහෙත්, ප්‍රාථමික පාසලෙහි තිබූ පුස්තකාලයට වඩා විශාල පුස්තකාලයක් තිබූ උසස් පාඨශාලාවෙහි ගත කළ කාලයෙන් භාගයක් පමණ ගෙවී යන තෙක් ම වේදාන්ත දර්ශනය හැදෑරීම සඳහා වැඩි උත්සාහයක් ගතිමි. කීර්තිමත් මනෝ විද්‍යාඥයකු වන කාර්ල් යුං විසින් ලියන ලද පොතක් මට එහිදී හමු විය. මගේ අවධානයට යොමු වූ පරිච්ඡේදයෙන් විස්තර කර තිබුණේ ප්‍රත්‍යෙකීකරණය (Individuation) යි. එනම් මනුෂ්‍යයකු සම්පූර්ණත්වයට පත් පුද්ගලයකු බවට පත් වීමට ඉවහල් වන මානසික ක්‍රියාවලිය යි. යුං තේරුම්ගෙන තිබූ අන්දමට මෙය සිදු වූවේ කෙනකුගේ පෞද්ගලික සවිඥානකත්වය සහ සාමූහික අවිඥානකත්වය අතර නව අනුභූති මධ්‍යස්ථානයක් පරිණාමය විය (ආදී කල්පිත මූලරූපික බලවේගයන්හි ප්‍රකෘතිය, (මුල) සියලු මනුෂ්‍යයන් තුළ පොදුවේ පවතින මනසෙහි අකාලික කොටසෙහි තිබේ). අභිනව මධ්‍යස්ථානය කෙනකුගේ සවිඥානකත්වය ඒ බවට සලකුණක් හෝ නොතබා ආපසු සාමූහික අවිඥානකත්වය කරා දිය වී යාවී දෝ යි වැනි, කිසියම් හැඟීමක් මට එම උත්තරීතර මොහොතෙහි පහළ විය. මනසෙහි වෙන් වශයෙන් ඇති කොටස් දෙක අර්ථ ශූන්‍ය ලෙස කිසියම් මූලික ඒකකත්වයකට ප්‍රතිගමනය කරනු වෙනුවට අන්‍යොන්‍ය වශයෙන් පූර්ණය කෙරෙන කිසියම් සත්තාවක කේන්ද්‍රියත්වයක් ඇති විය. මෙම නව මානය නිසා මගේ අදහසෙහි අක්ෂ විස්ම ජනක ලෙස වෙනසකට පත් විය. කිසියම් පරමාත්මයක් කරා විශ්වාසයක් තැබීමට යොමු වීම, සමානත්වය ඒකතාව වශයෙන් ද, අප්‍රාණිකත්වය සාමය වශයෙන් ද, අපහරණය (සමාධිය) යථාර්ථය වශයෙන් ද වරදවා වටහාගැනීම නිසා ඇති වන ආධ්‍යාත්මික මරණයක් ලෙස එය මට වැටහී ගියේ ය. පරමාත්මයක් සම්බන්ධ තණ්හාව වූකලි වෙනත් වේශයකින් උච්ඡේදය (විභව) සඳහා ඇති තණ්හාවක් බව බුදුන් වහන්සේ විසින් නිරීක්ෂණය කර ඇති බව මට අවබෝධ වීමට ද පටන් ගත්තේ ය. ආධ්‍යාත්මික ගවේෂණය රැඳී පවතින්නේ සියලු සිතිවිලි සහ ව්‍යායාමයන් මුළුමනින් ම යටපත් කිරීම තුළ නො ව, අපේ මනසෙහි ඇති ගැඹුරුතම ශක්තීන් ද, උදාරතර ප්‍රාර්ථනාවන් ද,එකතැන රැඳී නොසිටින සේ ප්‍රාණවත් කර, ක්‍රියාශීලී අන්දමින් එක්සත් කරන තෙක්, පිරිසිදු ව ද විවෘත ව ද තැබීමෙනි. මේ සියල්ල සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය වන්නේ කිසියම් ස්වරූපයක ව්‍යාජ අන්ධ තත්පර වීමක් නො ව, මනසෙහි මූලාරම්භයට ම කාවැදී, එය වෙනසකට විපර්යාසයකට පත් කළ හැකි තත්ත්වයේ, යම්කිසි පැහැදිලි නිර්මල ස්වභාවයක් හා අවබෝධ ශක්තියක් ඇති කරගැනීම ය.

මහායාන බුද්ධාගමෙහි සඳහන් වන බුදුන් වහන්සේගේ ත්‍රිකාය සිද්ධාන්ත සංකල්පය තුළ මෙය අඛණ්ඩ සේ අන්තර්ගත වීම පිළිබඳ අනුභූතිය සම්පූර්ණයෙන් ම ඇතුළත් ව ඇතැ යි මට අවබෝධ විය. බුදුන් වහන්සේ විසින්, සංයුක්ත නිකායෙහි ලා කච්චායනට විස්තර කර දුන් පරිදි ම, සියල්ල ඇතැ යි හෝ නැතැ යි යන උභයාන්තයන්ගෙන් පටිච්ච සමුප්පාදය විනිර්මුක්ත ය. මේ බව මට වටහාගැනීමට හැකි වූයේ බොහෝ කලකට පසු ව ය. වේදාන්ත දර්ශනය පරමාත්මය වූ බ්‍රහ්මන් මත පදනම් වී තිබේ. ‘බ්‍රහ්මන්’ යනු අද්විතීය වූ එක ම මූලික හේතුව යි. අනෙකත්වයෙන්, විවිධත්වයෙන් දර්ශනය වීම ද ප්‍රතිෂේධනය කරන හෙයින් ඔහු ජීවියකු නොවන බව ද ගම්‍ය වේ. එහෙත් බුද්ධ ධර්මය අපට නිරන්තර වශයෙන් ම පෙන්වා දී ඇති පරිදි සත්තාව සහ අසත්තාව යන උභය සංකල්පය හුදෙක් ක්‍රියාශීලී අන්තර්සම්බන්ධතාවන්හි කෘත්‍රිම ප්‍රතිනිර්මාණ (Reifications) වෙයි.

මෙකී සංකල්පය වෙනුවට පටිච්ච සමුප්පාදය සහ එහි උපලක්ෂය වන ශූන්‍යතාව ද ඉදිරිපත් කිරීමෙන් පළමුව, හින්දූන්ගේ බ්‍රහ්මන් වෙත ගතිකත්වයෙන් අන්තර්ග්‍රහණය කරගැනීමේ කල්පිතය, වඩා ක්‍රියාශීලි බෝධිසත්ත්ව සංකල්පය ඉදිරිපත් කිරීමෙන් වෙනස් කිරීමට මහායාන බුද්ධාගමට හැකි විය. දෙවනුව වේදාන්තය විසින් අනේකත්වය ප්‍රතිෂේධනය කරමින් තහවුරු කරන ඒකීයත්වය වෙනුවට විශ්වය හා පුද්ගලයා අතරෙහි බාධාවකින් තොර ව අන්‍යොන්‍ය වශයෙන් පවත්නා පාරදර්ශීභාවය ඇති කරන ‘සම්මා සම්බුද්ධත්වය’ හෙවත් ධම්ම ධාතුව ඉදිරිපත් කරයි. එබැවින් මට පෙනෙන අන්දමට මහායාන මාර්ගය වූකලි කෙනකු තුළ පවතින බුද්ධාංකුර ශක්තියට උපයෝගී වන ගතිගුණ (පාරමිතා) සම්පූර්ණයෙන් ම සංවර්ධනය කිරීමට ඉවහල් වන මාර්ගයකි. එය බුද්ධකාරක ධර්මයන්හි පවත්නා ඌනතා සම්පූර්ණ කරමින් ද, පවිත්‍ර කරමින් ද, සමතුලිත කරමින් ද, අන්‍යෝන්‍ය වශයෙන් උසස් සංයෝගයකින් යුතු ව පාරමී ධර්ම සම්පූර්ණ කිරීමට උගන්වයි. කිසි ම යථාර්ථවත් වෙනසක් නොමැති ව සියලු දෙය ම අනන්‍ය වශයෙන් එකක් ම යැ යි පෙන්නුම් කරන මාර්ගයකට හෝ ස්වභාව ධර්මයෙන් (ප්‍රකෘතියෙන්) පුරුෂ නොහොත් දැනගත් තැනැත්තා වෙන් කරන මාර්ගයකට එය ප්‍රතිපක්ෂ වේ. එක් අතකින් බ්‍රහ්මන්ට අන්තර්ග්‍රහණය කරගැනීමේ හින්දු ධර්මයෙන් ද අනිත් අතින් පටිච්ච සමුප්පාදය සහ තදනුකූල බෞද්ධ ධර්මයෙන් ද එකිනෙකට වෙනස් ආධ්‍යාත්මික මාර්ග දෙකක් සහ ප්‍රතිඵල දෙකක් අදහස් කැරේ.

කෙසේ නමුත්, බුද්ධ ධර්මය පිළිබඳ ව මා අත් කරගෙන තිබූ දැනීම කොතරම් අල්ප වුවත්, ඒ නිසා හින්දු ධර්මය මට සුදුසු මාර්ගයක් වශයෙන් සැලකීම මේ වන විට අවසන් වී තිබුණේ ය. එහෙත් බුද්ධ ධර්මය වැලඳගත යුතු ය යන හැඟීම මා තුළ ඇති වූයේ නැත. එයට හේතු වූ එක් කාරණයක් නම්, මගේ දැනීම දියුණු කරගැනීම සඳහා ප්‍රමාණවත් වන තරමට කරුණු සපයාගැනීමෙහිලා තිබූ දුෂ්කරතාව යි. මීට හාත්පසින් ම වෙනස් ලෙස, මගේ පරිසරය ඉතා නිවැරැදි ලෙස ම රෝමානු කතෝලික ආගමට සරිලන සේ සකස් ව තිබිණ. මා ඇසුරු කළ ජනතාව කතෝලිකයෝ වූ හ. ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ ව පාණ්ඩිත්‍යයක් ලබාගැනීමට අවශ්‍ය පොතපත පුස්තකාලවල මෙන් ම ප්‍රදේශයෙහි පොත් සාප්පුවල ද ඕනෑ තරම් තිබුණේ ය. ඉහත කී කරුණු අනුව ‘Hypostalic union’ උපස්ථාපන ඒකාබද්ධතාව පිළිබඳ ක්‍රිස්තියානි ධර්මය එනම් සමානුපාතික ව නොහොත් එක් විට ම ක්‍රිස්තූන් වහන්සේ සත්‍ය වූ දෙවියන් වහන්සේ මෙන් ම සත්‍ය වූ මිනිසා ද වේ යන ධර්මය මගේ සිත විශේෂයෙන් ආකර්ෂණය කළේ ය. දෙවන වතිකානු සමුළුවේ ප්‍රතිසංස්කරණ සහ විද්‍යමාන ස්වාභාවික දෑ විශාල වශයෙන් භාවිත කිරීම නිසා ධර්මෝපදේශවල තත්ත්වය, හරවත් ජීවිතයක් ගෙනයෑමට ඉවහල් වන අන්දමට වෙනස් වූ අතර, ඒ මාර්ගයෙන් දෙවිඳුන්ගෙන් වෙන් වී සිටි මිනිසාට යළිත් දෙවිඳුන් කරා යෑමේ මාර්ගය විවෘත විය. විජයග්‍රාහි ලෙස ක්‍රිස්තු ධර්මය යළිත් සොයාගැනීමට මට පුළුවන් වීම නිසා මම ඉමහත් ප්‍රමෝදයකට පත් වීමි.

මගේ කතෝලික ජීවිතය පෝෂණය වූයේ, ආධ්‍යාත්මික ක්‍රියාකාරකම් තුනකිනි. ඒවා නම් අවලෝකනය, දේවමෙහෙය හා ක්‍රියාව යි. අවලෝකනය නොහොත් කල්පනාකොට බැලීමේ පුරුද්දෙහි පියවර තුනක් විය. ධර්මෝපදේශ අතරින් නිශ්චිත පද්‍යයක් හෝ ක්‍රිස්තූන් වහන්සේගේ ජීවිතයෙහි සිද්ධියක් හෝ නැති නම්, ඇතැම් විට ඇදහිල්ලෙහි කිසියම් විශේෂ කොටසක් බාරගෙන එය කෙළින් ම ක්‍රිස්තූන් වහන්සේ වෙතින් ම ලැබුණු සේ සලකා තම හදවතින් ම පිළිගැනීම පළමුවැන්න යි. මගේ පි‍්‍රයතම මාතෘකාව වූයේ, ක්‍රිස්තු ධර්මයෙහි රඳා පැවැත්මට ඉවහල් වී ඇති ප්‍රධාන ගුප්ත කාරණාව වූ ශුද්ධ වූ ත්‍රිත්වය (දෙවියන් වහන්සේ තුළ පරමෝත්කෘෂ්ට ඒකීය භාවයක් පැවතියත්, එහි ද පෞද්ගලික අනේකත්වය පවතින බව ප්‍රකාශ කිරීම), ක්‍රිස්තූන් වහන්සේගේ මූර්තිමත් වීම (එනම් ක්‍රිස්තූන් වහන්සේගේ සිරුර තුළ දෙවියන් වහන්සේ සහ මිනිසා එක් වීම) මුක්තිදානය කිරීම හෙවත් ගැලවුම්කාරයා වීම (එනම් මරණය මාර්ගයෙන් අපගේ මරණය විනාශ කිරීම සහ පුනරුත්ථානයෙන් අපට ජීවිතය නැවත ලබා දීම) අප ද කොටස් වන ශුද්ධාත්මික ක්‍රිස්තු දේහය (ක්‍රිස්තූන් වහන්සේ ප්‍රධානියා ද, ශුද්ධාත්මයාණන් ආත්මය ද වන) යන මේවා යි.

දෙවනුව පුද්ගලයකුට තමා තෝරාගත් තේමාව, ක්‍රමයෙන් තමාගේ සිත තුළින් ද, හදවත තුළින් ද එළිදරව් වීමට සලස්වයි. එමඟින් තමා තුළ ගැබ් කර ඇති දිව්‍යමය අනුග්‍රහ සහ වරප්‍රසාද අනාවරණය කරගැනීමට කෙනකුට පුළුවන් වන අතර, එවිට ගැඹුරට ගැඹුර කතා කරන්නාක් මෙන් ඒවා තමාගේ ජීවිතය තුළට කාවද්දාගැනීමට කෙනෙකුට පුළුවන් වේ. අවසානයෙහි දෙවියන් වහන්සේගේ පණිවිඩය හා ආරාධනය ලැබූ තැනැත්තා දෙවියන් වහන්සේගේ විද්‍යමානත්වයට ප්‍රතිචාරය දක්වන්නේ, තමාගේ ආත්මය දෙවිඳුන් වෙත ඔසවමින් කැමැත්තෙන් ම යාච්ඤා කිරීමෙනි. දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට උපකාර කිරීමෙන් ලබන පී‍්‍රතිය එම උපකාර ලබාගැනීමෙන් මිනිසා විඳින පී‍්‍රතියට වඩා වැඩි බව ඔහු දනී.

ජන වන්දනාව යනු දේව ජීවිතය නමැති ත්‍යාගය, දිව්‍ය සත්ප්‍රසාදයෙහි මාර්ගයෙන් ඒකාන්ත ලෙස පවිත්‍ර තත්ත්වයට පත් කිරීම යි. ජන වන්දනාවේ ප්‍රධානතම අංශය නම් දිව්‍ය යාගය යි. ඒ තුළින් එයට සහභාගී වන්නන් තුළ ක්‍රිස්තූන් වහන්සේගේ පහළ වීම පිළිබඳ අභිරහස අලුත් කරනු ලැබේ.

ජන වන්දනාව හා අවලෝකනය තුළින් කෙනකු ලබාගන්නා ආශීර්වාද හා වරප්‍රසාද කුමක් වුවත්, ඒ ඒ පුද්ගලයාගේ එදිනෙදා ජීවිතයෙහි වෙනස් වීමක් සිදු වීමට එමඟින් ඉඩ සැලසේ. සර්වබලධාරී දෙවියන් වහන්සේට නිරන්තරයෙන් ම කරන ක්‍රියාව නම් පූජාව හා යාච්ඤාව යි. එබැවින් මෙය ශුද්ධවන්ත භාවය ලැබීමේ මූලික මාර්ගයක් ද වේ.

ඉහත කී කතෝලික ජීවන ක්‍රමය අනුව මම වර්ෂ ගණනාවක් ගත කළෙමි. එසේ වුව ද, ක්‍රිස්තියානි ධර්මය සමඟ තිබූ, මගේ සම්බන්ධකම් නිසා අනෙකුත් ආගම් පිළිබඳ ව හැදෑරීම මම අත් නොහළෙමි. ආගම් තුලනාත්මක ව හැදෑරීමේ ලා මා තුළ වූ උනන්දුව තවමත් ඉතා දැඩි විය. වෙනත් ආගම් අදහන අයවලුන්ට (විශේෂයෙන් බෞද්ධයන්ට) සරදමක් වශයෙන් ක්‍රිස්තියානිය හඳුන්වාදීමට එම අංශයෙහි ලා මා කරන අධ්‍යයන ඉමහත් පිටුවහලක් වේ යැ යි මම සිතුවෙමි. එහෙත් ස්වාභාවික දර්ශනය සහ ස්වර්ගයට ඇති එක ම අවසාන මාර්ගය වන එළිදරව්ව අතර පැහැදිලි වෙනසක් තබාගැනීමට, මම මගේ පර්යේෂණයන්හි සෑම අවස්ථාවකදී ම, විශේෂයෙන් පරීක්ෂාකාරී වීමි. ද

මනුෂ්‍යයාට ළඟා කරගැනීමට පුළුවන්කම ඇතැයි බුදුන් වහන්සේ විසින් වදාරා ඇති විවිධ ආධ්‍යාත්මික තත්ත්ව කෙරෙහි මගේ සිත තදින් ඇලී ගියේ ය. කුසල් කිරීමේ මාර්ගයෙන් (අකුසල කර්ම සිදු නොකිරීමෙන් සහ කුසල කර්ම සිදු කිරීමෙන්) සමෘද්ධි සම්පන්න මනුෂ්‍ය ජීවිතයක් හෝ පී‍්‍රති ප්‍රමෝදයෙන් යුක්ත දිව්‍ය ලෝකයක උත්පත්තියක් ලබාගත හැකි ය. සමාධිය මාර්ගයෙන් අෂ්ට විධ ධ්‍යාන වැඩූ විට රූපාවචර හෝ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලැබිය හැකි ය.

සමාපත්ති වැඩීමෙන් බුදු, පසේබුදු, මහරහත් යන ලෝකෝත්තර තත්ත්වයන්ට පත් විය හැකි ය. ෂඩ් අභිඥාවන් ලබාගැනීම සඳහා ද, විවිධ ලෝකෝත්තර තත්ත්ව පහළ කරගැනීම සඳහා ද, බුදුන් වහන්සේ විසින් අභිධර්මයෙහි සඳහන් කර ඇති කරුණු මෙහි සඳහන් කර නැත. තව ද, මේ පිළිබඳ ව ම මහායාන හා වජ්‍රයාන සම්ප්‍රදායන්හි සඳහන් විවිධ තත්ත්ව ද මෙහි සඳහන් නො වේ. ආධ්‍යාත්මිකත්වය පිළිබඳ මෙම සත්‍යමය වූ විශ්ව කෝෂයට මුහුණදීමෙන් පසු ක්‍රිස්තියානි ධර්මයෙහි ඇති පෘථුලභාවය ගැන මට සැක පහළ නොකර සිටීමට පුළුවන් වූවේ නැත.

සර්වඥයන් වහන්සේලා විසින් උපදවාගත් බව සඳහන් විවිධ ආධ්‍යාත්මික අභිඥානයන්, ශක්තීන්, ප්‍රඥාවන් සහ සමාධි ගැන මගේ සිත ආකර්ෂණය වන විට ආධ්‍යාත්මික අවබෝධයෙහි මූලික ජීවය, ප්‍රේමය හා භක්තිය යැ යි විශ්වාස කිරීම, විශේෂ වශයෙන් එය ප්‍රඥාවට විෂයය නොවන නිසා සැක කිරීමට පෙලඹුණෙමි. ඒ අවදියෙහි ඇදහිල්ල පිළිබඳ මගේ අදහස් විචිත්‍ර ස්වරූපයක් ගත්තේ ය.

භක්තිය, බුද්ධියට අඳුර සේ වුවත්, හදවතට ආලෝකයක් බඳු යැ යි මම ප්‍රසංශා කළෙමි. “මා උදෙසා ක්‍රිස්තූන් වහන්සේ ස්වර්ගස්ථ වූයේ යැ යි විශ්වාස කළෙමි. මන්ද, එය විශ්වාස කළ හැකි නිසා ය. උන් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථානය වූවේ යැ යි මම විශ්වාස කළෙමි. මන්ද එය සිදු විය හැකි කාරණයක් නොවන හෙයිනි.” මම මුල් යුගයේ දේවස්ථාන පියවරුන් සමඟ ද මෙසේ කෑගසා කීවෙමි. ඉදින් දැන් මම විශ්වාස කළ නොහැකි සහ සිදු විය නොහැකි සියලු දේ විශ්වාස නොකරන්නේ ඇයි දැ යි කල්පනා කිරීමට පටන් ගතිමි.

බුද්ධ ධර්මය විසින් ආධ්‍යාත්මික ගුණ වගාවෙහි ලා බලපාන මූලික අංග තෝරා බේරාගැනීමේදී දක්වා ඇති දක්ෂතාව ගැන මගේ සිත තදින් පැහැදුණේ ය. නිදසුනක් වශයෙන් මනුෂ්‍යයන් තුළ සංසාරයෙහි සැරිසැරීමට ඇති ආශාව නොහොත් භව තණ්හාව ස්වර්ගයෙහි අමරණීය ජීවිතයක් ලබාදීමේ පොරොන්දුව මඟින් වසන් කරනු වෙනුවට, ඒ ගැන ඉතා පැහැදිලි ලෙස විස්තර කර දී ඇත. එක්තරා අවධියක මූලික ප්‍රතිඵල වශයෙන් සලකන ලද ඇතැම් කරුණු අන්‍යොන්‍ය සම්බන්ධතාව අනුව වඩා උසස් අන්දමින් සිතා බැලීමේදී ඒවා දෙවෙනි තැන්හිලා සලකා බැලිය යුතු බව (සැබැවින් ම අත්දැකීම් අගය කිරීමේදී ඇති වන මූලික වැරදිවල ප්‍රතිඵලයක් වශයෙන්) කුසලාකුසල සම්බන්ධ කාරණයේදී මෙන් ධර්මය විසින් අනාවරණය කර ඇත.

බුද්ධ ධර්මයෙහි විධිමත් ආගමික සම්ප්‍රදාය නිසැක ලෙස ම අතිශයින් තේජස්වි ස්වරූපයක් ගනී. එහෙත් මගේ සිතෙහි වැඩියෙන් කාවැදී ගිය දෙය නම් බුදුන් වහන්සේ විසින් නිවැරැදි ප්‍රශ්න අසනු ලැබූ ආකාරය යි. අපේ ආගමික සංකල්පවල හේතු සහ ඒවායෙහි ස්වභාවය පිළිබඳ නිවැරදි දර්ශනයක් ඇති කරගැනීම, යටත් පිරිසෙයින් එම සංකල්ප මුදුන් පමුණුවාගැනීම සඳහා උපයෝගී කරගන්නා ආගමික සම්ප්‍රදාය තරමට ම වැදගත් ය.

එසේ නොවන්නේ නම් දෙවියන් වහන්සේ මෙන් ම බ්‍රහ්මන් ද හුදෙක් අපේ ආරක්ෂාව සඳහා පවතින ක්ෂේම ස්ථාන බවට පත් වේ. ක්‍රිස්තියානි ධර්මය ආත්මය හා දෙවියන් වහන්සේ පිළිබඳ ව යම් යම් ගුණාංග ඇතැ යි නිහඬ ව ම උපකල්පනය කර එතැන් සිට දේව ධර්මය පිළිබඳ ව වූ අලංකාර තිරය වියන ලද බව අවබෝධ කරගැනීමට මම පොහොසත් වීමි. එතෙකුදු වුවත්, ආධ්‍යාත්මික භාවය වඩාත් රඳාපවතින්නේ මෙම ගැඹුරට කිඳාබැස ඇති උපකල්පනයන් අදහස් හා අපේ ආගමික අත්දැකීම්වල ගුණාත්මකභාවය මත බලපා ඇති අන්දම පරීක්‍ෂා කිරීමෙන් බව පෙනී ගියේ ය.

ම්ලේච්ඡයන්ගේ ආගමක් වශයෙන් හඳුන්වන ලද මෙම ධර්මය විෂයයෙහි මා තුළ ඇති වූ අනපේක්ෂිත ආලෝකය ද ‘එව බලව‘ යැ යි යන අභීත ස්වරයෙන් යුතුව එය ප්‍රකාශයට පත් කර ඇති ආකාරය ද නිසා ක්‍රිස්තියානි ධර්මය අසම සම අවසාන ධර්මය වශයෙන් විග්‍රහ කර දැක්වීමට එයට ශක්තිය ලබාදුන් උපාය මාර්ග මොනවා දැ යි සෙවීමට මම නොයිවසිලිවන්ත ලෙස පෙලඹුණෙමි.

බුද්ධියට වටහාගැනීමට පුළුවන්කමක් ඇති ස්වාභාවික පිළිවෙළ හා වක්තෘවරයන් සහ අපෝස්තුලුවරයන් මාර්ගයෙන් දෙවියන් වහන්සේ විසින් එළිදරව් නොකරන ලද්දේ නම් කිසි සේත් දැනගැනීමට නොලැබෙන, සංක්‍ෂේප වශයෙන් ශුද්ධ වූ බයිබලයෙහි අන්තර්ගත කර ඇති ස්වභාව ධර්මය ඉක්මවා යන ආශ්චර්යවත් පිළිවෙළ අතර ඇති වෙනස ගැන සලකා බැලීම ආරම්භ කිරීමෙන් මම මගේ ගවේෂණය ආරම්භ කළෙමි.

එහෙත් මෙය දෙවියන් වහන්සේගේ එළිදරව්වක් බව අප දැනගන්නේ කෙසේ ද? දෙවියන් වහන්සේ ඔවුන්ට කතා කළ බව අනාගතවක්තෲන් විසින් ප්‍රකාශ කර ඇති නිසා ද? මෙසේ ප්‍රකාශ කළ පැරණි හා නූතන අනාගත වක්තෲහු අසංඛ්‍ය සංඛ්‍යාවක් සිටිත්. ඉඳින්, අපි ඔවුන්ගේ ප්‍රකාශ හුදු භක්තිය නිසා ම පිළිගන්නේ නම්, හින්දු ඍෂිවරුන් හෝ මොන්ගෝලියානු ෂාමන්වරුන් හෝ විශ්වාස නොකරන්නේ ඇයි? නැති නම් වඩාත් අපට සමීප ශාන්ත පීතරගේ ශුභාරංචිය හෝ ඉපැරණි ක්‍රිස්තියානි දර්ශනවාදීන්ගේ ශුද්ධ ලියවිලි හෝ නොපිළිගන්නේ ඇයි?

එළිදරව්වක් වශයෙන් ස්ථිර ලෙස සදාකාලයට ම පිළිගැනීම පිණිස ශුද්ධ ලියවිලිවල අන්තර්ගත ව ඇති දේ තුළ ද විශිෂ්ට, අසමසම, සුනිශ්චිත දෙයක් වශයෙන් පෙනෙන කිසියම් දෙයක් තිබිය යුතු ය. එහෙත් කලින් සිතෙහි පිළිසිඳී තිබූ දේවධර්මානුකූල හැඟීම්වලට නැඹුරු නොවී ඒවා පරීක්‍ෂා කර බැලූ විට මට පෙනීගියේ ශුද්ධ ලියවිලිවල එවැනි කිසිවක් නොමැති බව ය. එහි දකින්නට ලැබුනේ පුරාවෘත්ත, නීති, ජන විඥානය, ඉතිහාසය, චරිතාපදාන සහ සැනසිලිදායක වචන ද එක්රැස් කරන ලද ලියවිලි සංග්‍රයකි. පැරණි ලියවිලි තුළ දකින්නට නොලැබුණු කිසි ම වැදගත් දෙයක් එහි තිබුණේ නැත. ඇත්ත වශයෙන් ම එහි දකින්නට තිබූ දේවල් අතරින් වැඩි කොටසක් වෙනත් ආගමික සම්ප්‍රදායන්ට අයත් ධර්ම ග්‍රන්ථ තුළ වඩා නිරවුල් ව, පැහැදිලි ව හා සිත් ඇදගන්නා අන්දමින් ප්‍රකාශයට පත් කර තිබිණ.

ත්‍රිත්වය, දෙවියන් වහන්සේ මනුෂ්‍ය වේශයෙන් පෙනී සිටීම, ආදි ඇදහිල්ලෙහි දැක්වෙන දේව ධර්මානුකූල ආශ්චර්යයන් ප්‍රධාන එළිදරව් වශයෙන් සභාවෙන් ප්‍රකාශයට පත් කිරීම සමහර විට නිවැරදි විය හැකි ය. ඉඳින්, තත්ත්වය එබඳු නම්, ඒ බව මුළුමනින් ම වැදගත් වන මේ පිළිගත් ධර්ම පිළිබඳව පැහැදිලිවත්, ඒකාන්ත ලෙසත් සඳහන් කිරීමට, බයිබලයට නොපිළිවන් ඇයි? බොහෝ අවස්ථාවන්හිදී, මෙම ඇදහිල්ලට අයත් ව්‍යවස්ථා මුලාරම්භ විය හැකි වන්නේ තරමක් එකට වෙළුණු විග්‍රහවලින් බව මගේ සිතට කාවැදී ගිය කාරණයකි. සත්තකින් ම ඒවා පැරණි ගී‍්‍රක ජාතිකයන් විසින් කර ඇති පරිදි ඉලියඩ් හා ඔඩ්සි තුළින් වුව ද කෙනකුට සොයා උපුටාගැනීමට පුළුවන්කම තිබේ.

බයිබලයෙහි සඳහන් ප්‍රධාන එළිදරව්වෙහි තේමාව වී ඇත්තේ, ක්‍රිස්තූන් වහන්සේගේ පෞරුෂත්වය යි මම පෞද්ගලික ව ම විශ්වාස කළෙමි. දෙවියන් වහන්සේ උන් වහන්සේ තුළ වූ ප්‍රේමය නිසා, ක්‍රිස්තූන් වහන්සේ තුළින් මනුෂ්‍යයකු බවට පත් වී දෘශ්‍යමානව, උන් වහන්සේ සතු දිව්‍යමය ජීවිතයෙන් අපට වෙනස් කර තැබූ පාපයෙහි විශාල පරතරය තුනී කළ සේක. එහෙත් එවැනි ම වූ ක්‍රිෂ්ණ වැනි හින්දු අවතාර කෙරෙහි විශ්වාසයක් නොතබන්නේ ඇයි?

සියල්ල සලකන විට, බයිබලය වූකලි පරම්පරාවෙන් පරම්පරාවට සභා නායකයන් විසින් ද, විද්වතුන් විසින් ද, ආධ්‍යාත්මික අර්ථයක් උපුටාගැනීම සඳහා උපයෝගී කරගත් ලියවිල්ලක් බව පෙනේ. ඔවුන් සාර්ථක වූ බවට සැකයක් නැත. එහෙත් සමහර විට භගවත් ගීතාව හෝ කොන්පියුසියස්ගේ සුභාෂිතයක් හෝ මේ සඳහා උපයෝගී කරගන්නේ නම්, ඔවුන්ගේ කාර්යය වඩා පහසු වීමට ඉඩ තිබිණ.

බයිබලයෙහි අන්තර්ගත ව ඇති බව සඳහන් කරන පිළිගත් ආධ්‍යාත්මික ප්‍රඥාවෙන් වැඩි කොටසක් එයට හිමි වී ඇත්තේ, එහි සඳහන් පාඨවලින් නොව, ඒවාට කරන අර්ථකථන මගිනි. මේ තත්ත්වය සලකන විට මගේ සිහියට නැඟුණේ, කුස ගින්නෙන් පීඩිත වූ මගියාගේ කතාන්දරය යි. ලෝභ ස්ත්‍රියකගේ ගෙදරට ගිය මඟියෙක් ඇගේ නිවෙසෙහි නැවතීමට ඉඩ ලබාගැනීම සදහා, ඇය කැමැති කරවාගනු පිණිස ඔහු ළඟ ‘සුප්’ සෑදිය හැකි ඇණයක් ඇති බව කීවේ ය.

මෙය පිළිගත්ස්ත්‍රිය ඔහුට ඇගේ නිවෙසෙහි නැවතීමට ඉඩ දුන්නා ය. අනතුරුව ළිපි ගිනි දල්වා ඒ මත වතුර මුට්ටියක් තබා එයට ඇණය දමා සුප් සෑදීම සඳහා එය රත් වීමට සැලැස්සුවා ය. ඇණය වතුර මුට්ටිය තුළ රත්වෙද්දී ‘සූපය’ වඩාත් රසවත් වීම පිණිස, මේ දේ එක් කරන ලෙස මඟියා ගැහැනිය පොලඹවාගත්තේ ය. අවසානයෙහි ඇත්තෙන් ම ‘සූපය’ රසවත් එකක් විය. එහෙත් ඇණයෙන් සිදු වූ කාර්යය කුමක් ද?

එළිදරව්ව පිළිබඳ ස්වභාවය විමර්ශනය කර බැලීමෙන් පසු ආධ්‍යාත්මික ජීවිතයෙහි ඇති වැදගත්කම මෙනෙහි කර බැලීමට මම යොමු වීමි. බයිබලයෙහි සඳහන් වන්නේ දෙවියන් වහන්සේගේ වචනය යි ද, යේයුස් ක්‍රිස්තූන් වහන්සේ තමන්ගේ ස්වාමීන් වහන්සේ යැ යි ද, ගැලවුම්කරුවාණන් ය යි ද, පිළිගැනීමෙන් අපේ ජීවිතය වඩාත් යහපත් තත්ත්වයකට පරිවර්තනය වේ ද? බොහෝ දෙනකුගේ ජීවිත සම්බන්ධයෙන් සැබැවින් ම එය සිදු වන බව මම පිළිගනිමි.

එහෙත් සිදු වන්නේ කුමන ආකාරයෙහි වෙනසක් ද? නිසැක වෙනස්කම් යනුවෙන් හඳුන්වනු ලබන්නේ මොනවා ද? එවැනි වෙනස්කමක් පෙමින් බැඳුණු යුවළක් වින්දනය කරන තෘප්තියට හෝ නැති නම් විශ්වය ගැන කල්පනා කරන විද්‍යාඥයන් තුළ ඇති බව වෙනසට හෝ දැඩි සමාධියට පත් ඍෂීන් තුළ ඇති වන වෙනසට හෝ වෙනස් වන්නේ කෙසේ ද? මෙය සියලු දෙනා තුළ ම ඔවුන් වඩා පී‍්‍රතිමත්භාවයට, ප්‍රේමාවනද්ධ භාවයට, බුද්ධිමත් භාවයට හා සහනශීලිත්වයට පත් කරන වෙනසක් ඇති වූ අතර, එය බොහෝ අය සම්බන්ධයෙන් වූකලි භක්තිමත් ක්‍රිස්තියානීන් තුළ ඇති වන වෙනසට වඩා සෑහෙන ප්‍රමාණයකින් අධිකතර වූවකි.

සැබැවින් ම සමහර අවස්ථාවන්හිදී ක්‍රිස්තියානි ආගමට හැරුණු තැනැත්තන් තුළ මෙන් ම, ක්‍රිස්තුධර්ම ප්‍රචාරකයන් තුළ ද ඇති වන අභිප්‍රායන්, සිතිවිලි හා ක්‍රියාවන් හුදෙක් සාමාන්‍ය මනුෂ්‍යයන් තුළ පවතින ක්‍රෝධයෙහි, ඇලීමෙහි, ධර්මෝන්මාදයෙහි සහ සීමිත ලෙස කැමැත්තෙන් ම ඇති කරගන්නා අවිද්‍යාවෙහි ද විවිධ තත්ත්වයන් ය. මේ අය ක්‍රිස්තූන් වහන්සේ විසින් ගලවාගනු ලබන්නේ ද? ත්‍රිවිද්‍යා සූත්‍රයෙහි සංක්‍ෂේපයෙන් සඳහන් කර ඇති ආගමට ප්‍රවේශ වීමේ ක්‍රියා මාර්ගය වඩා යුක්ති සහගත නොවන්නේ ද? දෙවියන් වහන්සේ පවා උන් වහන්සේ බයිබලය මඟින් එළිදරව් වූ අවස්ථාවන්හිදී බොහෝ විට පෙනීයන පරිදි කෝපයෙන් ද, ඊර්ර්‍ෂ්‍යාවෙන් ද පලි ගැනීමේ චේතනාවෙන් ද පසු වූ බව පෙනී යයි.

ආධ්‍යාත්මික අත්දැකීම් සම්බන්ධ විවිධ ආඥාවන්හි හේතු ස්වභාවය හා වැදගත්කම තීක්ෂණ බුද්ධිය මඟින් අනාවරණය කරගැනීම ඉතා වැදගත් බව මට වැටහී ගියේ ය. ක්‍රිස්තියානි ආගම තුළ ඉඳුරා ම විධිමත් ව නිවේදනය වී නැත්තේ මෙම මූලික ආධ්‍යාත්මික ප්‍රශ්නයයි.

අනෙක් අතට බුදුන් වහන්සේ සෑම ආගමික වින්දනයක් ම මුළුමනින් ම තීක්ෂ්ණ බුද්ධිය මඟින්, අන්තර් ඥානය මඟින් අවබෝධ කරගත යුතු යැ යි අඛණ්ඩ ව ම අවධාරණය කළ සේක. පුද්ගලයකු තුළ ඇති වන ආගමික ප්‍රබෝධය වැරදි ලෙස වටහාගැනීම නිසා විවිධ චිරන්තන දෘෂ්ටීන්, වාද සහ ඇදහිලි ක්‍රම ඇති වූ ආකාරය උන් වහන්සේ විසින් නිතර නිතර ප්‍රකාශ කර ඇති අතර, කවර ආකාරයෙහි වින්දන සහ ඉන්ද්‍රීය ශක්තීන් ස්ර්වඥතා ඥානය ලබාගැනීම සඳහා ඉවහල් වන්නේ ද යන වග ද පෙන්නා දී තිබේ.

බුදුන් වහන්සේ තවමත් ක්ලේශ (සංයෝජන) සහිත හෝ (තාවකාලිකව මැඬපවත්වන ලද) මනසක් සහ ඒවා සම්පූර්ණයෙන් ම ස්ථිර වශයෙන් ම විකාශය පත් කළ මනසක් අතර වෙනස පැහැදිලි කිරීමේදී, කි‍්‍රස්තියානි ධර්මය විසින් හේතුව සහ එළිදරව්ව අතර වෙනස පැහැදිලි කිරීමේදී දක්වා ඇතිවාට වඩා යහපත් ලෙස ලෞකික හා ලෝකෝත්තර තත්ත්ව ගැන හොඳින් කල්පනා කර බැලීමට වඩා සුදුසු උපමානයක් ඉදිරිපත් කර ඇති බව මට පෙනී ගියේ ය. චිරන්තන දෘෂ්ටියට වඩා අධ්‍යාත්මය ගැන අවධාරණය කරන විට මෙම වෙනස වේගයෙන් විවර්ණ (අපැහැදිලි) වී යයි.

මේ අවස්ථාවේදී මම, බුද්ධ ධර්මයට එරෙහිව ක්‍රිස්තූ භක්තිකයන් නඟන විරෝධතා මොනවා දැ යි සොයාගැනීමට ප්‍රයත්නයක යෙදුණෙමි. මේ අතරින් වැඩි වශයෙන් ම දකින්නට ලැබෙන, එය ශූන්‍යතාවාදයක් ය සර්ව අසුභවාදයක් ය යන එක ම ස්වරූපයේ චෝදනා බුදු දහම විසින් එවැනි ම වූ එක ම ස්වරූපයේ පිළිතුරු තර්ක මඟින් කීර්තිමත් ලෙස බිඳදමා ඇත.

ඒ කෙසේ වෙතත්, මිනිස් සංහතියෙහි ආගමික සම්ප්‍රදායයන්, පන්ති තුනකට බෙදමින් කතෝලික පූජකවරයකු විසින් ලියන ලද ලිපියක් මම කියවීමි. ඒවා නම්, මිනිසාගේ ස්වාභාවික ඥානය විසින් පොලඹවන ලදුව, නිර්මාණය වූ සර්ව ජීවාත්මතවාදී

ආගම්, මනෝ විද්‍යාත්මක පිළියම් ලෙස සැලකිය හැකි මානසික ආගම් සහ ආරාධනයකට ලද ප්‍රතිචාරයක ප්‍රතිඵලයක් වශයෙන් බිහි වූ ආධ්‍යාත්මික ආගම් යන මේවා ය. මනෝ විද්‍යාත්මක හා ආධ්‍යාත්මික ආගම් අතර ඇති ප්‍රත්‍යක්ෂ වෙනස නම්, මනෝ විද්‍යාත්මක ආගම් මනස සදා සකස් කිරීමකට සම වන අතර, ආධ්‍යාත්මික ආගම්, ලෝකෝත්තර සම්බන්ධතාවක් සඳහා දෙවියන් වහන්සේ විසින් කරන ලද ආරාධනයක ප්‍රතිඵලයක් වීම ය.

ලෞකික (ස්වාභාවික) හා පාරලෞකික ආගම් අතර ඇති වෙනස මා මීට ඉහත විස්තර කර ඇති නමුත් යාන්ත්‍රික නිර්මාණය හා ආධ්‍යාත්මිකත්වය අතර ඇති වෙනස ගැන සලකා බැලීමේදී එහි කිසියම් සත්‍යතාවක් ඇති බව පෙනී යයි. විශේෂයෙන් ම ඇතැම් බෞද්ධාගමික සම්ප්‍රදායන් තුළ ආධ්‍යාත්මික තත්ත්වය ඉතා නිවැරදි ලෙස මනින ලද, ලේශමාත්‍ර අනේකත්වයක ජයඝෝෂාව බවට පත් කොට සියලු දේ විස්තර කර දීමට දරන ප්‍රයත්නයක් අපට දැකීමට පුළුවන.

එසේ ම භාවනාවෙන් ඇති වන බුද්ධිමය ක්‍රියාකාරීත්වයෙහි වර්ගීකරණය ‘එසවීම එසවීම, තැබීම තැබීම’ වැනි කෘත්‍රිම ප්‍රභේද මඟින් නිරූපණය කිරීමට ද ප්‍රයත්න දරා ඇත. මෙසේ කිරීම නිසා බුදුන් වහන්සේ විසින් මනුෂ්‍යයා පංචස්කන්ධයකට බෙදා දැක්වීමේ අභිප්‍රාය, එනම් සංසාර ආශක්ත නොවීම සහ සියලු ජීවීන් තුළ ඇති ක්‍රියාශීලි ස්වභාවය අනාවරණය කිරීම, තේරුම් ගැනීමට අපොහොසත් වී ඇති බව පෙනේ. මාර්ග සහ ඵල ඉදිරිපත් කිරීමෙන් අදහස් කරන ලද්දේ සර්වඥතා ඥානය, භාවනාව වැඩීමෙන් නිෂ්පාදනය කළ හැකි දෙයක් යැ යි තේරුම් නොගත යුතු ය. එසේ ම අන්තර්ඥානය යනු කිසියම් දෙයකින් ලබාගත හැකි විස්මය, ආශ්චර්යය, චමත්කාරය හා ප්‍රබෝධය අපට අහිමි වන අයුරින් ඒවා පරීක්‍ෂා කර, පැහැදිලි කර ඉවත දැමීම නොවන බව ද වටහාගත යුතු ය.

මේ සියල්ල සූත්‍ර ධර්මවල විශේෂ වශයෙන් මහායාන සූත්‍රවල පැහැදිලි ලෙස දක්වා තිබේ. ඇත්ත වශයෙන් ම මහායානය ඇති වීමට හේතූ වූයේ ද විද්වතුන් විසින් වර්ගීකරණයට ද, යාන්ත්‍රික නියතාර්ථයට ද දැක්වූ ළැදිකමෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූ ඇට්ටරකම නිසා සහ තරුණ වැරදි ලෙස වටහාගැනීම නිසා බව කියනු ලැබේ. එනිසා කතෝලික පියතුමාගේ ලිපිය ධර්මය සම්බන්ධ ඇතැම් අර්ථ නිරූපණ ගැන පරීක්‍ෂාකාරී වීමට ද ධර්මයෙහි ජීවය ආරක්ෂා වන පරිදි එහෙත් අප්‍රාණික නොවන පරිදි, යම් යම් දේ මැඬපවත්වා පාලනය කිරීමට ද ක්‍රියා කරන විට විවිධ සම්ප්‍රදායන්ගෙන් යුක්ත බුද්ධ ධර්මය ජීවන ක්‍රමයක් වශයෙන් කොතරම් වැදගත් දැ යි මට හැගේ.

0 comments:

Post a Comment