Monday, December 26, 2011

නිර්මාංශ වීමෙන් නිරෝගීකම, ප්‍රියමනාප පෙනුම ඇති වෙනවා

නිර්මාංශ වීමෙන් 
නිරෝගීකම, ප්‍රියමනාප පෙනුම ඇති වෙනවා


ස්‌වාභාවික විපත් අවම කරගැනීම ශාරීරික සහ මානසික වශයෙන් නිරෝගී ජනතාවක්‌ බිහිවනු දැකීම පාපයෙන් මිදුනු යහ ගුණ සපිරි සාරධර්මවලින් පිරිපුන් වූ සමාජයක්‌ ගොඩ නැගීම. මෙම අපේක්‌ෂාවන් සපල වනු දැකීමට නම් සත්ත්ව මාංශ අනුභවයෙන් හිංසනයෙන් වැලකී නිර්මාංශ වී නිවැරදි ජීවන රටාවකට හුරුවිය යුතු බව පෙන්වා දෙමින් ඒ පිළිබඳ මිනිසුන් දැනුවත් කරමින් පූජා උත්තම පූජා නමින් ධර්ම යාත්‍රාවක්‌ රට පුරා රැගෙන යන සංවිධානයක්‌ ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වී ඇත. ඒ අවිහිංසාවාදී සංගමය යි. තියුණු ආයුධවලින් කපා දස වද දී ඝාතනයට ලක්‌ කරන අසරණ සතුනට අභය දානය දී ඉන් පරිසරය සහ මිනිසා රැක ගැනීමේ මෛත්‍රි සහගත උදාර පරමාර්ථය පෙරදැරි කරගෙන මෙම සංවිධානය පිහිටුවා ඇත. 

මෙම සංගමයේ නිර්මාතෘ මෙන්ම එහි සභාපති ධුරය දරමින් කටයුතු කරන්නේ දේශමාන්‍ය ධර්ම පුත්‍ර නිහාල් විඡේරත්න මැතිතුමා ය. මෙම කර්තව්‍ය පිළිබඳ වැඩි විස්‌තර දැන ගැනීමට එතුමා සමඟ පිළිසඳරක යෙදුනෙමු. 



ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංගමය නමින් මෙවැනි සංගමයක්‌ පිහිටුවීමට ඔබතුමා අදහස්‌ කළේ ඇයි?

මා දේශපාලන භූමියේ සිට ඉන් බැහැරව සමාජයේ යහපත් වෙනසක්‌ ඇති කිරිමට අදහස්‌ කළා. අද සාරධර්ම ගුණදහම් පරිහානිය කරා යනවා. මා මහත්මා ගාන්ධි තුමා, බලංගොඩ ආනන්ද මෛත්‍රිය ස්‌වාමින් වහන්සේ වැනි උත්තමයන් විසින් ලියන ලද පොත පත කියවා තිබෙනවා. එයින් බොහෝ යහපත් කරුණු වටහා ගත්තා. බුදු දහම අනුවද ජීවිතය යහපත් කරගන්න නම් පංච ශීලයවත් රැකිය යුතුයි. ප්‍රථම සිල් පදය එනම් සතුන් මැරිමෙන් වැළකි සිටියොත් මිනිසාට විශාල යහපතක්‌ සිදුවන බව මට වැටහුනා. එම නිසා නිර්මාංශවීමෙන් ලැබෙන ආවිහිංසනය පිළිබඳ ජනතාව දැනුවත් කිරිමේ අරමුණින් මෙය ආරම්භ කළා.



නිර්මාංශ වීමෙන් මිනිසාට සිදුවන යහපත ඔබ පෙන්වා දෙන්නේ කොහොමද? 

නිර්මාංශ වීමෙන් පාරිසරික වශයෙන් බලපාන විපත් අවම කරගත හැකි වෙනවා. ලෙඩ රෝග අඩු නිරෝගි අය බිහිවෙනවා. පාප ක්‍රියාවලින් වැලකුන උතුම් මිනිස්‌ ගති ඇති සැබෑම මිනිසෙකු ලෙස ජීවත් වෙන්න පුළුවන් වෙනවා. 



ඔබ කීවා නිර්මාංශ වීමෙන් නිරෝගීකම රැකෙනවා කියලා. ඒ කොහොමද? 

අද බොහෝ අය හෘදයාබාධ, පිළිකා, කොලෙස්‌ටරෝල් ආතරයිටිස්‌ ආදි රෝගවලින් පීඩා විඳිනවා. සතෙකු මරණවිට ඒ සතාට දැනෙන දුක, වේදනාව, බිය නිසා ඒ සතා උමතු වෙනවා. ඒ සතාගේ ලේ විෂ වෙනවා. ඒ විෂ මස්‌ තමයි රසයට ගිජු වී අපි අනුභව කරන්නේ. ලෙඩ රෝග හැදෙන එක පුදුමයක්‌ නොවෙයි. 



නිර්මාංශ වීම පිළිබඳ සෞඛ්‍යමය පැත්තෙන් වෛද්‍යවරු අදහස්‌ දක්‌වනවාද? 

ඔව්. මේ පිළිබඳ රට පුරා මා දේශන පවත්වනවා. එම වැඩසටහන්වලට සහභාගි වී වෛද්‍යවරු අදහස්‌ දක්‌වනවා. නිරෝගී ශක්‌තිමත් ක්‍රියාශිලි දිවියකට මාංශ අනුභවය අනවශ්‍ය බව වෛද්‍යවරු පෙන්වාදෙනවා. අද පවතින නොයෙක්‌ රෝගාබාධවලින් මිදී නිරෝගීව ජීවත්වීමට නිර්මාංශ වීම බෙහෙවින් බලපාන බවත් එළවළු, පලතුරු, පලාවර්ග, ධාන්‍ය වර්ග, කිරි යනාදි ආහාර පානවල සිරුරට අවශ්‍ය පෝෂණ කොටස්‌ ඉතා ඉහළ මට්‌ටමකින් අඩංගු වී තිබෙන බව වෛද්‍යවරු පවසනවා. අද ඉතා අඩු වයසේ පසුවන දැරියන් වැඩිවියට පැමිණෙනවා. තව ගර්භාෂගත ගෙඩි, වඳභාවය මේ සියල්ලටම බලපාන හේතුවක්‌ තමයි මව්පියන් විසින් දරුවන්ට මස්‌ ආහාරයට ලබා දීම. දේශීය මෙන්ම බටහිර වෛද්‍යවරු මගේ උත්තම පූජා වැඩසටහන්වලදී මේ තොරතුරු ප්‍රකාශ කරනවා. නිර්මාංශවීමෙන් නිරෝගී වීම පමණක්‌ නොවෙයි හොඳ යහපත් මෘදු ගතිගුණත් ඇති වෙනවා. ලස්‌සන පෙනුමක්‌ද ඇති වෙනවා. 



සත්ව හිංසාවේ ආදීනව පිළිබඳ තොරතුරු ඇතුළත් අගනා සංයුක්‌ත තැටි නොමිලේ බෙදා හරිනවා නේද?

ඔව්. 0714809262 අංකයට අමතා එම තැටි නොමිලේම ලබා ගැනීමට ඕනෑම අයෙකුට අවස්‌ථාව තිබෙනවා. 

0 comments:

Post a Comment