Monday, December 26, 2011

යළි සුනාමි ආවත් ජීවිත හානි වෙන්නේ නෑ

දට යෙදෙන (දෙසැම්බර් 26) ‘ජාතික ආරක්ෂිත දිනය’ නිමිතිකර ගනිමින් අදින් වසර 7 කට පෙර සිදුවූ සුනාමි ව්‍යසනය හා ඉන්පසු යළි නැඟී සිටීම ගැනත්, ආපදා පෙර සූදානම හා ආපදා කළමනාකරණ ක්‍රියාමාර්ග ගැනත්, ස්වභාවික ආපදාවකදී ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් අප සිටින මට්ටම පිළිබඳත් ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර සමඟ කළ සංවාදයකි.
* හරියටම අදින් වසර හතකට පෙර 2004 දෙසැම්බර් 26 වැනිදා අප කිසිවකුත් නොසිතූ විලසින් අත්විඳීමට සිදුවු සුනාමි ව්‍යසනය පිළිබඳ මතකය ඔබ අවදි කරන්නේ කෙසේද?
සුනාමි ව්‍යසනයට අප එදා මුහුණදෙද්දි අපි වැඩිදෙනෙක් ඒ වචනය පවා දැන සිටියේ නෑ. එවැනි විපතක් ගැන අසා තිබුණේත් නෑ. විශ්වවිද්‍යාල තුළවත් ඒ ගැන සාකච්ඡා කෙරී නොතිබුණා විය යුතුයි. මේ පසුබිම තුළ ඒ වගේ විනාශයක් පිළිබඳ කිසිවකුටත් හැඟීමක් තිබුණේ නෑ. සුනාමිය නිසා ඒ තරම් ජීවිත විනාශයක් වුණෙත් ඒකයි.
40,000 ක් විතර ජීවිත අහිමිවුණා. විශාල දේපළ හානියකුත් සිදුවුණා. මේ දැවැන්ත ඛේදවාචකයෙන් පසු රජයක් හැටියට අපට අහිමි වු මිනිස් ජීවිත හැර අන් සියල්ල ලබාදීමට පුළුවන් වුණා. විනාශ වූ යටිතල පහසුකම් යළි නැංවුවා. ධීවර බෝට්ටු, ආම්පන්න ආදිය ලබා දුන්නා. විනාශ වූ ගම් බිම් යළි ගොඩනැගුවා. විපතට මුහුණ දුන් ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. රජය නිසි මුදල් කළමනාකරණයකින් යුතුව මේ සියල්ල හොඳින් කළා.
* සුනාමියත් ඇතුළුව ස්වභාවික ආපදාවන්වලදී ජීවිත අහිමිවුවන් සැමරීමත් අරමුණු කරමින් ජාතික ආරක්ෂිත දිනය ලෙස දෙසැම්බර් 26 නම් කර තිබෙනවා. මෙවර මේ දිනය සැමරීම සිදුවන්නේ මොන විදිහටද?
සුනාමි ව්‍යසනයෙන් පසු ආපදා කළමනාකරණය සඳහා වෙනම අමාත්‍යාංශයක් පවා ඇති කළා. ඒ වගේම හැම වසරකම දෙසැම්බර් 26 වැනිදා ජාතික ආරක්ෂිත දිනය ලෙස නම් කර සුනාමිය ඇතුළු ස්වභාවික ආපදා නිසා ජීවිත අහිමිවුවන් සැමරීම සිදුකෙරෙනවා. ජාතික ආරක්ෂිත දින පළමු සැමරුම සිදුකෙරුණේ ගාල්ලේදී. ඉන්පසු යාපනයෙත් එය පැවැත්වුවා. ත්‍රස්තවාදයෙන් බැට කෑ ප්‍රදේශවල දරුවන් එම කටයුතුවලට සම්බන්ධ කර ගත්තා. මෙවර එම දිනය අද සමරන්නේ මඩකළපුව කාතන්කුඩි ප්‍රදේශයේදී. එම ප්‍රදේශවලත් මුස්ලිම්, දෙමළ ජන කොටස්ද ත්‍රස්තවාදය නිසා පීඩාවට පත්වුණා. එම දරුවන් මෙවර මේ සැමරුමට සහභාගී වෙනවා. මෙවර ජාතික ආරක්ෂිත දිනය සමරන්නේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අද දිනයේ සිදුකෙරෙන ඉතාමත් වැදගත් කාර්යයක් තමයි, පෙ.ව.9.25 සිට 9.27 දක්වා විනාඩි 2 ක නිහැඬියාවක් පවත්වා ස්වභාවික ආපදාවලින් ජීවිත අහිමිවුවන් සිහිපත් කිරීම. ඊට එක්වන හැටියට රටේ ජනතාවගෙන්ද ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා.
* සුනාමි ව්‍යසනයෙන් පසු යළි නැඟී සිටීමේදී ඊට මුහුණ දුන් හා මෙවැනි විපත්වලට මුහුණ පෑ සෙසු රටවලට සාපේක්ෂව අප සිටින්නේ මොන වගේ මට්ටමකද?
සුනාමි ව්‍යසනය පමණක් නොවෙයි, ඕනෑම ස්වභාවික ආපදාවකට පසු ලෝකයේ අන් කිසිදු රටකට නොදෙවෙනිව එම පශ්චාත් ආපදා කළමනාකරණ කටයුතු කරන්න අපේ රටට හැකිවුණා. එහිදී රටක් හැටියට අප දැක්වු සාර්ථකත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා ප්‍රශංසාවට හේතුවු බව කියන්න ඕන. පසුගිය ගංවතුර තත්ත්වයෙන් අනතුරුවත් එම පශ්චාත් කළමනාකරණ කටයුතු අප හොඳින්ම කළා. මෙවැනි ස්වභාවික ආපදාවකදී ඇතිවිය හැකි ජීවිත විනාශයට අමතරව ආහාර හිඟවීම, බෝවන රෝග වගේ හේතුන් නිසාත් ජීවිත විනාශ විය හැකියි. නමුත් අපේ රටේ එවැනි තත්ත්වයක් ඇතිවෙන්න අප ඉඩ තබා නෑ. මෙවැනි ආපදාවකදී ත්‍රිවිධ හමුදාව, අපේ අමාත්‍යාංශයට අයත් සහන සැලසීමේ කණ්ඩායම් ආදිය හොඳින් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් විපතට ලක්ව සිටින ජනයාට ආහාර සැපයීම, නිසියාකාරව ඉටුකිරීමටත් අප වගබලා ගන්නවා. එක් වේලක් හෝ ඔවුන් කුසගින්නේ නොතබන ලෙස ගරු ජනාධිපතිතුමා අපට පැහැදිලිව උපදෙස් දී තිබෙනවා. පළමු ආහාර වේලේ පටන්ම ඒ ආහාරපාන ලබාදෙන ලෙස නිලධාරින්ට නියම කරලයි තියෙන්නේ.
* ස්වභාවික ආපදාවකට මුහුණදීමේදී ආපදා පෙර සුදානම හා ආපදා කළමනාකරණය අතින් අද අප සිටින්නේ මොන වගේ තැනක ද?
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හැටියට අප සිදුකරන්නේ ආපදාවලින් විපතට පත් අයට කන්න දෙන එක පමණක් නෙවෙයි. අපේ අමාත්‍යාංශයේ කාර්යභාරය ඊට වඩා පුළුල් බව මා නිතර අවධාරණය කරන දෙයක්. ස්වභාවික ආපදාවකදී විය හැකි හානි අවම කර ගැනීම සඳහා අප විශාල වැඩ කොටසක් කරනවා. නිදසුනක් ලෙස ගංවතුර පාලනය කරන්න පුලුවන්. කොළඹ, ගම්පහ වගේ නගර දැන් තරමක් තද වර්ෂාවකදීත් කලින් වගේ වතුරින් යටවෙන්නේ නෑ. ලබන වසරේදී කොළඹ ගංවතුර පාලන ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් බිලියන 8 ක් යොදවනවා. එය ක්‍රියාත්මක වු විට කොළඹ ගංවතුරට යටවෙන එකක් නෑ. අනෙක් පළාත්වලත් එවැනි වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබන වර්ෂය සඳහා වු අයවැයෙන් ජනාධිපතිතුමා ලබාදී තිබෙනවා.
එය සිදුවිය හැකි හානි අවම කර ගැනීම සම්බන්ධයෙන් විශාල ලෙස වැදගත්. තවත් විශේෂයෙන් කිව යුතු කාරණයක් තමයි, යම්කිසි අන්දමකින් සුනාමි වැනි ආපදාවක් ඇතිවුවහොත් 2004 දී මෙන් ජීවිත විනාශයක් කිසිසේත් සිදුනොවන බව. එවැනි තත්ත්වයක් ගැන වහා දැනුම්දීමට අවශ්‍ය ක්‍රමවේදයක් දැන් අපට තිබෙනවා. ඉර්ඉ පණිවිඩයක් ලෙස ජංගම දුරකතනයට ඒ පණිවිඩ ලබාදිය හැකියි. ජනමාධ්‍ය ඔස්සේද ක්ෂණිකව මේ දැනුම්දීම කරනවා. පොලිසිය හා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගනිමින් එම අනතුරු ඇඟවීම් කිරීමේ හැකියාව තිබෙනවා. ගමන්කතන මඟින් මේ පණිවිඩ ලබා දෙනවා. මෙවැනි ආපදාවකට මුහුණදෙන්නේ කෙසේද යන්න ගැන පෙරහුරු ගණනාවක් පවත්වා තිබෙනවා. සුනාමි වැනි තත්ත්වයකදී නම් අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක්ද ස්ථාපිත කර තිබෙනවා. මේ නිසා අනියම් බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නෑ.
* පසුගියදා දකුණු මුහුදට බලපෑ කුණාටු තත්ත්වය පිළිබඳ පුර්ව දැනුම්වත් කිරීම් සිදුකිරීමට හැකිවුවා නම් ඇතිවූ තත්ත්වය මීට වෙනස් වෙන්න ඉඩ තිබුණා. එහිදී කාලගුණ විද්‍යා අංශ අසමත් වුණාද ?
මාතරදී ඇතිවූ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ඉටුවුණාද කියන එක ගැන වාර්තාවක් ලබාගත්තා. ඒ අනුව ඔවුන් අතින් අතපසුවීමක් වී ඇති බවට තොරතුරු වනවා. මේ පිළිබඳ මාධ්‍යවේදීන්ටත් කරුණු විමසීමට අවස්ථාවක් ලබාදෙනවා. මේ ගැන උනන්දුවක් දක්වන අයටත් තොරතුරු ලබාදීමට ඉඩ සලසනවා. මීට අමතරව, කවුරුන් අතින් හෝ යම් වරදක් සිදුවී ඇතැයි පෙනී ගියහොත් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න, දඬුවම් කරන්න අප කිසිසේත් පසුබට වන්නේ නෑ. මෙවැනි දෙයක් යළිත් සිදුනොවීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම සඳහාත් ප්‍රතිසංවිධාය කිරීම සඳහාත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.
* මේ දිනවල රටේ ප්‍රදේශ කිහිපයකට අධික වර්ෂාව නිසා ගංවතුර තත්ත්වයක් පවතිනවා. විශේෂයෙන් කිලිනොච්චිය, මුලතිව් වගේ දිස්ත්‍රික්කවලට මේ තත්ත්වය බලපාලා. මොන විදිහේ ක්‍රියාමාර්ගද මේ සඳහා අරගෙන තියෙන්නේ?
දැනටමත් ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන අවසන්. ප්‍රතිපාදන ප්‍රශ්න වගේ දේවල් දැන් ඇතිවෙන්නේ නෑ. ණය පිළිබඳ ප්‍රශ්නත් නෑ. කලින් තිබූ ණය පියවා අවසන්. දිසාපතිවරුන්ට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදී තිබෙනවා. ඔවුන් අතැති මුදල් වියදම් කළත් ඉක්මනින්ම එම මුදල් පියවීමට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. කළින් පැහැදිලි කළා වගේ මේ ජනතාව පීඩාවට පත් නොකර පළමු කෑම වේලේ පටන්ම ඔවුන්ට ලබාදීමට අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. දිසාපතිවරුන් මාර්ගයෙන් එම සහන සැලසීමේ කටයුතු ක්‍රමානුකූලව හා කඩිනමින් සිදුකිරීමට වැඩපිළිවෙළ ඇතිකරලයි තියෙන්නේ.
* ස්වභාවික ආපදාවකට මුහුණදීම සම්බන්ධයෙන් කවර මට්ටමේ සූදානමක සිටියත් තවමත් ජනතාව කටකතාවලින් පවා කලබලයට පත්වෙනවා. ඔවුන් ලබන ඇතැම් අත්දැකීම් නිසාත් එලෙස කලබලයට පත්වනවාද යන්න ගැන හිතන්න වෙනවා. මෙවැනි අවස්ථාවකදී විශ්වාසනීයව හා කඩිනමින් අවශ්‍ය දැනුම්වත් කිරීම් කරන්න හැකි බව කිව හැකිද? මේ ගැන ඔබට ජනතාවගෙන් යම් ඉල්ලීමක් කරන්න තිබෙනවාද?
පළමුවෙන්ම ඉල්ලන්න තියෙන්නේ ඒ වගේ කටකතාවලට රැවටෙන්න එපා ! කියලයි. මෙවැනි ආපදාවක් ගැන කලින් දැනුම් දෙන්න තරම් හැකියාවක් දැන් අප සතුයි. ආපදා අවදානමක් ඇති ප්‍රදේශවල ජනතාව පෙරහුරුවලට පවා සහභාගි වී මනා සුදානමක්, දැනුමක් ඇති කරගෙන තිබෙනවා. මේ නිසා අනවශ්‍ය ආකාරයට කලබලවීම කළ යුතු නෑ. හැබැයි පසුගියදා ඇතිවූ සිදුවීම නිසා කාලගුණ විද්‍යා අංශ ගැන ජනතාව තුළ ඇති විශ්වාසය බිඳවැටුණා නම් ඒක හොඳ දෙයක් නෙවෙයි. මොකද, ඉදිරියේදී ඔවුන් කරන අනතුරු ඇඟවීම් ගැන පවා ජනතාව විශ්වාස නොකර සිටියොත්, ඇතිවිය හැකි ප්‍රතිඵල කනගාටුදායක වෙන්න පුලුවන්. ඒ නිසා කාලගුණ හා අදාළ අනෙකුත් අංශ ගැන ජනතාව තුළ විශ්වාසයක් තිබීම ඉතා වැදගත්. ඒ ගැන අවධානය යොමු කරමින් තමයි, අපි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවීකරණයත් අනාගත දැක්මකින් යුතුව ක්‍රියාවට නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින්නේ. ඒ කටයුතු සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතියත් ලැබී තිබෙනවා. ඒ අනුව ඉදිරි කාලය තුළ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට ඒ යොමුකිරීම් කර තිබෙනවා. නැවතත් ජනතාවගෙන් ඕනෑකමින් ඉල්ලා සිටින්නේ කටකතාවලට රැවටී අනවශ්‍ය ආකාරයට කලබල නොවන ලෙසයි.

0 comments:

Post a Comment