Sunday, August 21, 2011

ලොතරැයි දිනුමක් ලබා ඇතිබවට SMS ආවාද ?

ලොතරැයි දිනුමක් ලබා ඇතිබවට SMS ආවාද ?


විදේශීය ලොතරැයි ජයග්‍රහණයක් ලබා ඇතිබව කියමින් ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් එවා ඒ මාර්ගයෙන් පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළිවී තිබෙන බව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
පරිගණක වංචාවන් පිළිබඳව දැනුම් දීමට මෙරට පිහිටුවා ඇති මෙම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මහතා පැවසුවේ සිය ආයතනයට මෙවැනි පැමිණිලි 04 ක් මේ වනවිට ලැබී තිබෙන බවත් මෙවැනි වංචාවන්ට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
“අපිට පැමිණිලි කරපු අය කියා තිබෙන්නෙ, විදේශීය ලොතරැයියකින් විශාල මුදලක් දිනා තිබෙන බවට දන්වා ඔවුන්ගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් ලැබී තිබෙන බවත් එම ත්‍යාග මුදල ලබාගැනීමට අමතන ලෙස දුරකතන අංකයක් හා තොරතුරු ඇතුළත් කරන ලෙස වෙබ් ලිපිනයක් දක්වා තිබෙන බවයි. මේ දුරකතන අංකයට කතා කළ විට ලියාපදිංචි ගාස්තු විදිහට ඩොලර් 200 ක් වැනි මුදලක් ගෙවන්න කියා තිබෙනවා. මේක මුදල් ගැරීමේ වංචාවක්. එම මුදල් ලබා දුන්නොත් එය ලැබෙන්නෙ නෑ. මෙවැනි කෙටි පණිවුඩ ලැබී ඇත්නම් අප ආයතනයට පැමිණි කළ හැකියි. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අපි සූදානම්.“
යනුවෙන් පල්ලියගුරු මහතා කීය.
ෆේස් බුක් වෙබ් අඩවියේ සමහරුන් සිය දුරකතන අංක පළකරන බවත් මෙම වංචාකරුවන් එතැනින් දුරකතන අංක ලබාගන්නා බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) විසින් මෙවැනි වංචා වලින් වැලකී පරිගණක ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව දැනුවත් කරන බවද හෙතෙම අවධාරණය කළේය.
මෙවැනි පැමිණිලි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (Slcert) මෙම දුරකතන අංකය මගින් දැනුම් දෙන්න. 011 2 691 692

0 comments:

Post a Comment