මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ ගැන බොහෝ අයුරින් මෑත කාළයක සිට ලක්දිවෙහි සමාජ කතිකාවතක් ඇරඹී තිබේ…අවාසනාවකට, මේ කතිකාවත හට ගැන්මෙහි ලා පාදක වූ සිද්ධි දාමයන්ගෙන් බොහොමයක්, අභූත වූ, බුදු දහමට පටහැණි, පෞද්ගලිකත්වය ඉස්මතු කොට ගැනීම සඳහා දියත්ව පවතින ප්‍රෝඪාකාරී වැඩසටහන්ය…සමාජයෙන් මිථ්‍යා දෘෂ්ඨිය සහ මිසදිටු මතවාද නිසා හට ගන්නා සූරා කෑම් සහ වංචා තුරන් කළ යුතු, ඉතා වැදගත් මොහොතක, මෙවැනි දෙයින් සමාජය යළිත් අඳුරු නරා වළකට ඇද දමන්නට කැස කවන පුද්ගලයන්, එයට මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ වැනි අතිශය දැවැන්ත අධ්‍යාත්මික ප්‍රතිරූපයක් ඒවායේ ගා ගැනීම නිසා, ථේරවාදයේ එන සැබෑ මෙත් බෝසතුන් කවුදැයි හඳුන්වා දිය යුතුව තිබේ…
බෝධි සත්වයෙකු බවට කෙනෙකු පත් වන්නේ කෙසේද?…
දීඝ නිකාය සහ මජ්ජිම නිකාය මේ පැණය විෂයෙහි බලවත් පැහැදිලි කර ඇත….අති පූජ්‍ය රේරුකාණේ චන්දවිමල නා හිමිපාණන් වහන්සේද, හෑගොඩ විපස්සී නා හිමියන් වහන්සේද, ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේද, මේ බුද්ධත්වය කරා යන ගමන ඉතාම ව්‍යක්ථ ලෙස විග්‍රහ කොට ඇත…අද අප ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන්නේ, ඒ මහා ශාසන සිංහ රාජයන් තිදෙනාගේ විමර්ශණයන් ඇසුරින් අප නිරවුල් කර ගෙන පෙළ ගස්වා ගත් කරුණු කාරණාය…මේවාට අමතරව අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහාභිධාන මහ සංඝ රාජයාණන් වහන්සේද මෛත්‍රී බෝසත් චරිතය ගැන දහම් පාසැල් පොත් වලට හෙම සපයා ඇති කරුණුද මේ සඳහා උපයෝගී කර ගතිමි…අප දහම් පාසැල් ඇසුරේ සහ මෙවැනි මහ තෙර වරුන්ගේ දහම් දැනුම ඇසුරේ බොහෝ කළක් ගත කල නිසා, සමාජයේ කොයි කවුරු රැවටුණත්, අපව රවට්ටා ගන්නට නම් බොහෝ දෙනෙකුට බොහෝ දුෂ්කර වනු ඇත…මෙනිසාම වංචාව, ප්‍රෝඪාව හෝ පුද්ගලික බල ව්‍යාපෘතීන් දුටු තැන, සෘජුව ඒවා පෙන්වා දීමේ හැකියාව අප සතු ඇති බව ඉතාම නිහතමානීව පවසමු…
බෝධිසත්ව වරයෙක් සර්ව සම්පූර්ණ “බුද්ධාංකුර” චරිතයක් වන්නේ, “අභිනිහාර විවරණය” හෙවත්, තවත් සම්මා සම්බුදු වරයෙකුගෙන් ලබා ගන්නා “පළමු බුද්ධ නියත විවරණය” ( “මේ තැනැත්තා මතු බුදු වෙනවා” යැයි බුදු වරයෙකුගේම ශ්‍රී මුඛයකින් දේශනා කරවා ගැනීම…) ලැබූ තැන් සිටය…නමුත් මේ පළමු අභිනිහාර විවරණය ලබන්නට මත්තෙන්, බෝධි සත්වයෙකු වන්නට සම්පූර්ණ විය යුතු කාරණා දෙකක් තිබේ…ඒ වූ කලී,
1. මනෝ ප්‍රධානිය – යම්කිසි කුසලයක් රැස් කරගෙන, හෝ යම් කිසි බුදු රුවණක් කෙරෙහි බලවත් පැහැදීමෙන්, තමන් හටද මෙලෙසින් බුද්ධත්වයට පත් වන්නට ලැබේවායි ප්‍රාර්ථනා කර සිටීම…මෙය සිත මූලික කර ගෙන කෙරෙන්නක් වන අතර, බුදුකුරු ගමනේ පළමු පියවරද මෙයයි…
2. වචී ප්‍රධානිය / වාචසික ප්‍රධානිය – එලෙස කුසල් රැස් කරගෙන, ලොවුතුරා බුදු මගට බැස්සායින් පසුව, තමන් බුදු බව පතන බව කටින් යම් කිසිවෙකුට හෝ පිරිසකට හෝ ප්‍රකාශ කර සිටීම…
මේ පියවරයන් දෙක සම්පූර්ණ වූ පසුව, තවත් බොහෝ කාළයක් කුසල් වඩා, විශාල කැප කිරීමක් කර තැනේදි, ඒ තැනැත්තාට සම්මා සම්බුදු වරයකු මුණ ගැසී, “ප්‍රථම බුද්ධ විවරණය” හෙවත්, නියත වශයෙන්ම බුදු වන්නේයැයි දෙනු ලබන “නියත විවරණය” ලැබෙනු ඇත…අප ගෞතම බුදු පියාණෝ නියත විවරණ ලැබුවේ, සුමේධ තවුස්ව සිටි සමයේ “දීපංකර” බුදු රජු පාද මූලයෙහිය..
මෛත්‍රී බෝසතුන් වහන්සේ “රත්නමලල” නම් පිරිවැජිව ඉපිද, “මුහුර්ථ” නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ අභිමුඛයෙහි “ප්‍රථම බුද්ධ විවරණය” ලැබූ සේක…
අභිනිහාර විවරණයක් ලැබීම සඳහා සම්පූර්ණ විය යුතු කරුණු වන්නේ :
සංයුක්ත නිකායේ “ඔක්ඛන්ථි” සංයුක්ත කොටසේ එන මෙම ගාථාවෙන්, බෝසත් වරයෙකු අභිනිහාර විවරණය ලැබීම සඳහා, “එම විවරණ ලබන භවයේ” සම්පූර්ණ කොට ඉපදිය යුතු කරුණු 8 ක් ගෙන හැර දක්වනු ලැබේ…
මනුස්සත්තං ලිංග සම්පත්ති -
මිනිසෙකු වී, මිනිස් යෝනියක ඉපදීම..( යෝනිය යනු ප්‍රජනක අවයවයටම නොවේ..පාලියෙන් “යෝනි” යනු “ජීවි විශේෂය” ලෙස නූතනයේදී දත යුතුය…)..එමෙන්ම මෙහිදී “ලිංග” සම්පත්තිය ලෙස හඳුන්වන්නේ “දිගු ලිඟුවක්” සහිතව ඉපදීමයි..එවැන්නක් කාන්තාවන්ට නොමැති හෙයින්, පුරුෂයෙකුව ඉපදීම බව දත යුතුය…
හේතු සත්ථාර දස්සනං -
“හේතු” යනු, එම අභිනිහාර විවරණය ලබන භවයේදීද ඇවැසි නම් බවුන් වඩා අර්හත් ඵලයට පත් වීමට ඇවැසි “ත්‍රි හේතුක” පටි සන්ධි සහිතව ඉපදීමයි…බුද්ධාංකුර වූ අයෙකු මොන තරම් උතුමෙක්දැයි මෙයින්ම වටහා ගත හැක…එම භවයේම නිවන් දැකීමේ ශක්තිය තිබියදීත්, නිවන පෙනි, පෙනීත් සසර කතරේ සැරිසරන සත්වයා උදෙසා, ඒ අතට පත් නිවනත් අත් හැර ඉතා ඝෝර වූත්, දුෂ්කර වූත් ගමනක් බෝසත් වරු යති..එවැනි බෝසත් වරුන් විකුණාගෙන කන්නට පෙළඹෙන අය කර ගන්නේ මොන වගේ පවක්දැයි “ඇම තම නැණ පමණින්” දැන ගත යුතුය…
“සත්ථාර දස්සනං” යනු සම්මා සම්බුදු වරයෙකු එම භවයේදී මුණ ගැසීමයි…
පබ්බජ්ජා ගුණ සම්පත්ති -
“පබ්බජ්ජා” යනු “පිං” සහ “පව්” දෙක නිවැරදිව විශ්වාස කරන, ඒවාට නිවැරදි නිර්වචන දෙන පිරිවැජි කුළයක, ඒ බුදු විවරණ ගන්නට යන ඇත්තා මහණ වී සිටිය යුතුය…මිථ්‍යා දෘෂ්ඨික දහමක පූජක වරයේ ඉන්නා අයට කිසි විටකත් අභිනිහාර විවරණය නොලැබේ…”ගුණ සම්ප්පත්ති” යනු අෂ්ඨ සමාපත්තියට සම වැදී සිටීමයි…
අධිකාරෝ ච ඡන්දතා -
“අධිකාරෝ” යනු ඒ බුදුකුරු පිරිවැජියා, තම ජීවිතය හෝ කය පරිත්‍යාගයෙන් දානයක් දීමට සූදානමින් සිටීමයි…දීපංකර බුදු රදුන්ට මඩ වගුරෙන් එතෙර වීම සඳහා, තම සිරුර ඒ දණ්ඩක් ලෙස මඩෙහි වැතිරවූ “සුමේධ” තවුසාණන් සිහි කර ගන්න…
“ඡන්දතා” යනු සම්මා සම්බුදු වරයෙකු වීම මිස වෙනත් අරමුණක් නැතැයි, ඉතාම දෘඪව ඒ අරමුණෙහි එල්බ සිටීම, සහ සෘජු අවසාන ඉලක්කය එයම වීම…
අට්ඨ ධම්ම සමෝධානා – අභිනීහාරෝ සමිජ්ඣ – මේ අෂ්ඨ දහමට සම වදින්නෝ අභිනිහාර විවරණය ලබා ගන්නාහුය…
බෝධි සත්වයෙකුට, බුදු බව ලබන මොහොතේ මාර බලවේගයට, නොහොත් “ශක්ති මාරයාගේ සෙනඟට” දස ආකාරයකින් මුහුණ දීමට සිදුවේ…මේ චෛතසික වූ මාර ශක්තීන් 10 ට අප “දස බිම්බර මාර සෙනඟ” යනුවෙන් කියමු…දස බිම්බර මාර සෙනඟ කවුරුද?…
කාමය
අරති උච්චති – ධර්මයේ හැසිරිමට අකමැත්ත
කුප්පි පාසති – බඩගින්නත්, පිපාසයත්
තන්නහව – ප්රියදේට ආසා කිරිම
තීනමිද්ධය – නිදිමත, අලසකම
බය
සැකය
දැඩි ගතිය, එකට එක කිරිම, අනුන්ගේ ගුණ මකු බව
තමාව හුවා දැක්වීම, අනුන්ව හෙලා දැක්වීම
වැරදි ක්‍රම වලින් කීර්ති ප්‍රසංසා සේවීම
අරති උච්චති – ධර්මයේ හැසිරිමට අකමැත්ත
කුප්පි පාසති – බඩගින්නත්, පිපාසයත්
තන්නහව – ප්රියදේට ආසා කිරිම
තීනමිද්ධය – නිදිමත, අලසකම
බය
සැකය
දැඩි ගතිය, එකට එක කිරිම, අනුන්ගේ ගුණ මකු බව
තමාව හුවා දැක්වීම, අනුන්ව හෙලා දැක්වීම
වැරදි ක්‍රම වලින් කීර්ති ප්‍රසංසා සේවීම
යන මේ දහය “දස බිම්බර මාර සේනාවයි..”…බුදු වරයෙකු, මේ මාර සේනා දහයට පහර දීම සඳහා, අභිනිහාර විවරණය ලැබූ මොහොතේ සිට, බෝ මැඩ වජ්‍රාසනයේ “භද්‍ර පර්යංකය” දක්වාම, සුවිශේෂී ” අවි 10 ක්” මුවහත් තබමින් යති…පාරමිතා වැඩීම නොහොත් “දශ පාරමිතා සම්පූර්ණ කිරීම” ලෙස අප කියන්නේ මෙයටයි..( මාර සේනා 10 ට, පාරමිතා 10 ක් උපරිමයට දියුණු කිරීමෙන් පහර දීම..)…ඒ පාරමිතා 10 මොනවාදැයි දැන් අප බලමු…
දාන
ශීල
නෙක්ඛම්ම
පඤ්ඤා,
වීර්ය
භක්ති
සච්ච
අධිට්ඨාන
මෛත්‍රී
උපේක්ඛා
ශීල
නෙක්ඛම්ම
පඤ්ඤා,
වීර්ය
භක්ති
සච්ච
අධිට්ඨාන
මෛත්‍රී
උපේක්ඛා
යනු “මාර සෙනඟ” මඩින තියුණු අවි 10 යි..නමුත් මේ 10 ය පාරමිතා වශයෙන් පමණක් සම්පූර්ණ කරන කෙනෙකුට හැකි වන්නේ අර්හත් ඵලය ලැබීමට පමණයි…සම්මා සම්බුදු වරයෙකු වන්නට යන කෙනෙක් මේ පාරමිතා 10 තෙවැදෑරුම් අයුරකින්, එනම් සමස්ථයක් ලෙස 30 ආකාරයකින් ( එකක්, ප්‍රභේද තුනක් ලෙස ) සම්පූර්ණ කර යුතු වේ..එය අතිශය දුෂ්කර කාර්යයකි…ඒ ආකාර 3 වන්නෙ : පාරමිතා, උප-පාරමිතා, පරමත්ථ පාරමිතා යන අයුරිනි…
…බෝධි සත්වයන් වර්ග….
පාරමිතා පුරණ ආකාරය, විවරණ ලබන ආකාරය හා ඒ සියල්ලටම වඩා, බුදු වන්නට යන ගමනේ “අරමුණු සිතිවිල්ල” පෙරදැරි වන ආකාරය අනුව බෝධිසත්වයන්ද වර්ග තුනකි…
1. ප්‍රඥාධික බෝසතුන් වහන්සේලා – ( අප ගෞතම බුදු රජු අයත් වන කොටස ) මෙවැනි බෝසත් චරිත පාරමිතා පුරන්නේ “සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයකි”..එනම් අසංඛ්‍ය කල්ප ලක්ෂ 4 කි…උන් වහන්සේලාගේ “ප්‍රඥාව ප්‍රමුඛය, අධිකය…වීර්යය මධ්‍යමය…ශ්‍රද්ධාව මඳව පවතී”…
2. වීර්යාධික බෝසතුන් වහන්සේලා – ( මෛත්‍රී බෝසතුන් වහන්සේ අයත් වන කොටස ) පෙරුම් දම් පිරීම 16 අසංඛ්‍ය කල්ප ලක්ෂයකි…( අප මහ බෝසතුන් මෙන් 4 ගුණයකි..)..වීර්යය ප්‍රමුඛය…ශ්‍රද්ධාව මධ්‍යමය…ප්‍රඥාව මඳව පවතී….
3. ශ්‍රද්ධාධික බෝසතුන් වහන්සේලා – පෙරුම් දම් පිරීම 8 අසංඛ්‍ය කල්ප ලක්ෂයකි ( ගෝතම බෝ සතුන් මෙන් දෙගුණයකි….කාශ්‍යප බුදු හිමියන් මේ කොටසට අයත් වේ…) ශ්‍රද්ධාව අධිකය…ප්‍රඥාව මධ්‍යමය…වීර්යය මඳය….
මේ තුන් වර්ගයේ බෝසතුන් අවසානයේ බුදු වූ පසුව, ඒ බුදු වරයන් වහන්සේලාගේ “බුදු ගුණෙහි” හෝ දෙසන ධර්මයෙහි කිසිදු අඩු වැඩි වීමක් නැත…දෙසනුයේද එකම අමා සත්‍යය වේ…නමුත්, පාරමිතා පුරමින් යන කාළය හා ඒ කාලය පුරාවට පුරන පාරමී දම් වල, එක් රැස් කර ගන්නා කුශල ශක්තිය අනුව, “බුද්ධ තේජස, බුද්ධ ආයුෂ, බුදු සිව්වණක් පිරිසේ සංඛ්‍යාව, බුද්ධ අණ පවතින සක්වළ තලය” ආදී දේ වෙනස් වේ…අඩු වැඩි වේ…
මෙන්න අපේ මෛත්‍රී බෝධිසත්වයෝ…..
මෛත්‍රී බෝසතුන්, අප පෙර කී පරිදි කප් ලක්ෂ 16 ක් පෙරුම් පුරාගෙන එන, අති දැවැන්ත කුශල කඳක් සහිත බල සම්පන්න උතුමෙකි…මෛත්‍රී බෝසතුන්ගේ “පූර්ව බුද්ධ දිව්‍ය භවය” නොහොත් බුදු වීමට පෙර ලබන අවසන් දිව්‍ය භවය දැන් ලැබී ඇතැයි, ධර්ම පොත පත සඳහන් කරති…ඒ දිව්‍ය භවය අතිශයින් බල සම්පන්න එකකි…
මෛත්‍රී බෝධි සත්වයන් අපේ ගෞතම බුදු පියාණන්ට හමුවූයේ කෙසේද? කවදාද?…මේ පැණයට පිළිතුරු, අප සැරියුත් මහ රහතන් වහන්සේගේ ඇරයුමෙන්, ගෞතම බුදු පියාණෝ, එදා සංකස්ස පුරයේ ජනතාවට දෙසූ “අනාගත වංශ” දේශනාව, නොහොත් “අනාගතය දකිනා මහා සිංහ නාදය” ඇසුරින් පැහැදිලි කරමු…
බුද්ධත්වයෙන් පසුව 7 වැනි වස් කාළය, ගෞතම සම්මා සම්බුදු පියාණෝ වැඩ වෙසෙන්නේ “තාවතින්ස” දිව්‍ය ලෝකයේය…ඒ “මාතෘ දිව්‍ය පුත්‍රයාණන්ට දම් දෙසනු වස්ය..”..එසේ වැඩ විසූ බුදු පියාණෝ ඉක්බිතව, මහා පෙළහරකින් ,රන් හිණි පෙතක් මවා, දඹදිව සංකස්ස නගරයට සැපත් වන විට, ඒ සංකස්ස පුරවරයෙහි “සිරිවර්ධන” නම් මහ සිටු පුත්‍රයකු ව ( වත්මනේදී, මෛත්‍රී බුදුන් ලෙස ව්‍යාජයෙන් පෙනී සිටින, ලක්දිව දකුණේ “සිරිවර්ධන” නම් විහිළු කාරයා ඒ නම උකහා ගෙන ඇත්තේ මෙතැනිනි…) සිටි මෙත් බෝසතුන්, අප ගෞතම බුදු පියාණන් වෙත ආරාමයක් පුදාලූහ…එවිට ඒ පිළිගත් ගෞතම බුදු රජාණෝ, රැස්ව සිටි සියළු පර්ශත් කැඳවා, “මේ මතු මත්තෙහි “මෛත්‍රී” නමින් ලොවුතුරා බුදු බවට පත්වන, මහා බෝසතුන්ය” යනුවෙන් එතුමන්ව හුවා දක්වා ලූ සේක…මෙවිට ඉදිරිපත් වූ සැරියුත් මහ තෙරුන් වහන්සේ “ස්වාමීනි, එපවත් දෙසුව මැනවැයි” ඇරයුම් කළ හෙයින්, බුදු රජාණෝ ” අනාගත වංශ” සූත්‍ර දේශනාව ගෙන හැර පෑ සේක…
මේ අනාගත වංශයට අනුව “16 අසක් කප් ලක්ෂයක් පෙරුම් දම් පිරීම නිසා අතිශය දැවැන්ත කුශල සම්භාරයක් ගෙන බුදු වන මෛත්‍රී බෝසතුන්ගේ බුද්ධ තේජස අනගිභවනීය ය…උන් වහන්සේට අසූ රියන් උස ශරීරයක් ලැබේ…වසර 120,000 ක ආයුෂ කාළයකි…ඒ මෙත් බෝසතුන් බෝ මැඩ හිඳ සිටිනු දුටු විගසම, “සටනක් නොකොටම මාරයා පැන දුවන්නේය…”, අනාගතයේ දඹදිව පහළ වන කේතුමති නම් මහා සශ්‍රීක රාජධානියේ, “සුබ්‍රහ්ම” නම් බමුණු පඬිරුවනට සහ “බ්‍රහ්මවතී” බැමිණියට දාව උපදින, මහා පින්වන්ත “සුදස්සන බ්‍රහ්මවර්ධන” කුමරුවන්, වයස 18 පැමිණි විට “ගිහි ගෙයින් නික්මෙමැයි” සිතන මොහොතේම, රන් පළඟක් ආකාශයෙන් පා වන්නා සේ, උන් වහන්සේ වැඩ සිටිනා විමාන සඳළු තලයද කැටිව ආකාශයෙන්ම ගොස් “නුග” රුක බෝ මැඩ, “අපරාජිත පර්යංකයෙහි” පිහිටුවනු ලබති…මාරයා සටන් වදින්නට තබා, ඒ මෛත්‍රී බුද්ධ තේජස හමුවේ කෙළින් සිට ගත නොහැකිව, පැන දුවති…මේ තිස් දහසක් සක්වළ තල, කම්පා කරවන මෛත්‍රී බුද්ධත්වයයි…
මේ සා මහත් පින් බල ඇති මෙත් බෝසත් උතුමෝ දැන් “තුසිත” විමාණයෙහි, අසූ යොදුනක් උසැති දිව්‍ය ශරීර සහිතව, කිසිදු දෙවියෙකුට හිස නොනමන, සියළු දෙවියන් නමස්කාර කරන, බලසම්පන්න දෙව් පුතෙකුව වැඩ වෙසෙති..
මෛත්‍රී බෝසත් දෙව් රජු “නාථ” දෙවියෝද?…
ඉතාම පැහැදිලිව ඉහත පැණයට දිය හැකි පිළිතුර “නැත” යන්නය…මෛත්‍රී බෝසතුන් ගැන රේරුකාණේ චන්දවිමල මහ නා හිමි, හා මඩිහේ මහ නාහිමි කළ සියළු විග්‍රහයන් වල සඳහන්ව ඇත්තේ, ” ඒ මෛත්‍රී බෝසත් දෙව් රජුගේ නම “මහා සංතොඨ්ඨික නොහොත් මහා සංතොෂින දිව්‍ය රාජයා” යන්න බවය…
මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේට යම් පුද සත්කාරයක් කරන්නේ අපේ රටේ විතරක්ම නොවේ…ථේරවාදය, අපටත් වඩා නිවැරදිව පිළිපදින මහ තෙරවරු සිටින, බුරුමය, තායිලන්තය, කාම්බෝජය වැනි රටවලද මේ “සංතොෂින” දිව්‍ය රාජයාට මහත් සැළකිල්ලක් ඇත…එහෙත් මතක තබා ගත යුතුය…”මහායාන හා වජ්‍රයාන ” සම්ප්‍රදායන් වල මෙන්, “ථේරවාදී” බෞද්ධ අපි “බෝ සත් වරුන් පුදන්නේ හෝ යදින්නේ නැත…”…
ඔබ කාම්බෝජය, සියම් දේශය වැනි ථේරවාදී සම්ප්‍රදායන් සහිත රටවල්, ජපානය, චීනය හා කොරියාව හා සසඳා බලන්න…ඔබ දකින මහා වෙනස කුමක්ද? දෙවැනුව කී රටවල, සෑම විහාරස්ථානයකම “යැදුම් හල්” ඇත…ඒ අය මෙත් බෝසතුන්ගේ පිළිම තනාගෙන ඒවාට යදිති…එතුළින්, ඔවුන් නොදැනුවත්වම “ශාස්වථ වාදී” ග්‍රහණයකට හසුවේ…
බලන්න…කොපමණ උත්සාහ කළත් මිෂනාරීන්ට “ථේරවාදී” තායිලන්තයේ, බෞද්ධ පදනම බිඳින්නට නොහැකි විය…ඒ එතැන “දේව වාදී පිදිලි” වලට ඉඩ නැති නිසාය…ඒ අයට “නත්ථි මේ සරණං අඤ්ඤං…බුද්ධෝ මේ සරණං වරං” වන නිසාය…
නමුත් දකුණු කොරියාවේ?…දුටුවාද, දේව වාදි ඇදහිල්ලක් “බෝසත් වෙසින්” හෝ ගෑවී ගෙන සම්ප්‍රදාය අස්සට රිංගා ගත්තොත් වෙන විපතක තරම?….බුදු දහම පිළිපදින තැනැත්තාගේ “අධ්‍යාත්මික” කොටසටද මෙය “ඌණනය” වන්නේ? යනුවෙන් විමසින්, ඒ අයට “ඕල්කට්” බෞද්ධයන් යැයි නිග්‍රහ කරමින්, කෙස් පැලෙන තර්ක දාන ඇත්තන්ට, තමන් කරන මහා “පදනම්” විනාශය නොපෙනී යාම කණගාටුවකි…
“බුදු දහමට” පහර වදින්නේ හෝ වැනසී යන්නේ, ඒ දහම අධ්‍යාත්මික ශාන්තියට යොදාගෙන, ආර්ථික විද්‍යාවට බටහිර දැනුම යොදා ගන්නා ඇත්තන්ගෙන් නොවේ…බුදු දහම “ජීවන මගක්” යැයි කියා ගත්තත්, එහි “අදේව වාදී ශ්‍රද්ධාවට” කවර වෙසකින් හෝ “දේව පූජා, දේව සබඳතා, සහ රැකවරණය සහ පිහිට උදෙසා “දේව ඇදහිලි” එකතු කරන අය අතින්මය…”
……..එහෙනම් කවුද මේ “නාථ දෙවියෝ”?……..
මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ ඉතා සුවසේ තුසිතයෙහි වැඩ වෙසෙන අතරේ, මේ අපේ රටේ කන්ද උඩ රට රාජධානියේ, සිරි දළදා සෙවණේම දේවාලයක් කරගෙන, පැළපදියම් වූ “නාථ” දෙයියෝ කවුද?…මේ “නාථ” නම් දෙවියන්ට, කතරගම දෙවියන් උදෙසා කැප කළ “ඇම්බැක්ක” දේවාලයේ, දේවාල සන්නස් වල “කිරි රජ්ජුරු බණ්ඩාර” යන නම භාවිතා කරයි…
“බණ්ඩාර” ලා කිව්ව ගමන් අපේ මතකයට එන්නේ උඩරට රදළයන්ය..මේ රදළයන් හට ඇති කුල ගර්වය හා “වැඩවසම්” භීෂණය නිසා, ඒ, ඒ ගම් වැසියන්, මොවුන් මිය ගිය පසුව, ඉතිරිව සිටින වලව් කරුවන්ගේ සෘජු හෝ වක්‍ර නොමඟ යැවීම් මත, මොවුන්ව දේවත්වයට නඟති…”64 ක් බණ්ඩාරලා දෙවිවරුන් වන්නේද, ඒ 64 ම රජ්ජුරු බණ්ඩාර දෙවිවරු වන්නේද” මෙන්න මේ කරුණ නිසාය…බලන්න, දකුණු පළාතේ, මේ බණ්ඩාරලාට වඳින දේවාල නැත…තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ, හිනිදුම, “ගැටබරුව” නම් ප්‍රදේශයේ පමණි…එතැන වැඩ ඉන්නා දෙවියාත් “බස්නාහිර රජ්ජුරු බණ්ඩාර” නොහොත්, උඩරට තදින්ම වැඳ පුදන “දැඩි මුණ්ඩ” දෙවියන්ය..ඒ දෙවියන්ව ඇඳ ඇති ආකාරය බලන්න…ඒ රූප කායන්ගේ තියෙන්නේ මොනවාද…උඩරට “නිළමේ” සූට් එකම නොවේද?…මෙන්න මෙතනයි ලාංකික “දේව සංකල්පයක්” නොහොත් “ආත්ම වාදී” දේව සංකල්පයක් නිර්මාණය වන තැන…
අප එයට “ආත්මවාදී” දේව සංකල්පයක් කියන්නේ ඇයි? අපේ බෞද්ධ දෙවිවරුන් “පොල් ගැහුවාම මිනී මරන්නේ වත්, බුලත් කොලේ තියා දික් කරන ශත 10 ගෙන අනාගතය කියන්නේ වත්, වස් කවියට අත පය කඩන්නේ වත් නැත…”..ඒ සියළු මිථ්‍යා බහු බූත, ඉන්දියාවේ , හින්දු දහමෙන් කාන්දු වූ “ආත්මවාදී” දෙවි වරුන්ගේ ක්‍රියා කාරකම්ය….අපේ සමදිටු බොදු දෙවි වරුන් හෙවත් “දේවතා සංයුක්තයෙහි” එන දෙවියන් සිටින්නේ අපට බොහෝ දුරින් වන අතර, ඒ ඇත්තන් මිනිස් සහවාසයකට එන්නේත් “බුදු රුවණක්” හෝ ” මහ රහත් රුවණක් ” මුණ ගැසෙන්නටය…අපේ බෞද්ධ දෙවියෝ අපිට සිතා ගත නොහැකි අන්දමේ සැප විඳින, අතිශයින්ම කයින් සහ මනසින් දියුණු වූ දෙවියන් විනා, මේ “මකුලු දැල් බැඳිච්ච දේවාල වල, පහන් දැල්ලෙන් කළු වූ පරාල උඩට වී, සෙවල, පෙඳ, පාසි බැඳුණු පඩි පෙළවල් වල බඩ ගාගෙන මෝඩ මිනිසුන් ඇවිත් පූජා වට්ටි දික් කරන කල් බලා ඉන්නා” බහිරවයන් නොවේ…එවැනි ලක්ෂණ අවාසනාවකට බුදු සමයට කාන්දු වූයේ, “ආත්මවාදී” හින්දු බහු දේව සංකල්පයන්ගෙනි…
අපේ බොදු දෙවිවරුන්ගෙන් මහේශාක්‍ය වූ දෙව් කොටස් වලට ඇත්ත වශයෙන්ම අපේ පිං අනවශ්‍ය බවට දේවතා සංයුක්තය සාක්ෂි දරති…ඒ ඇත්තන් මහේශාක්‍ය වී සිටින්නේ, භවයන් ගණනාවක් මුළුල්ලේ “ජීවිත පරදුවට තබා” රැස් කළ මහ පිං නිසාය…අල්පේශාක්‍ය දෙවියන් නම් අපේ පිං වලින් සුළු කොටසක් අනුමෝදන් වන අතර, එසේ අනුමෝදන් වී අපට “සෙත් පැතීම” කරති….මේ හැර “ආටානාටිය” වැනි මහ පිරිත් තුළින් දෙන පණිවිඩයෙන් “බලවත් අමනුෂ්‍ය” බියක් අපට හිංසා කරන විට, මේ මහේශාක්‍ය “නිවැරදි” දෙවියන්, උන්ව අල්ලා ගෙන එලවා දමති…ඒ නැතුව, ඒ සසර පුරා හුරු කළ පිං බල මහිමයෙන් පිරුණු දෙවි රජවරුන්ට දෙන්නට “අමුතු පිං” අපේ වාහෙලා ළඟ නැත…
මේ “නාථ” යන දෙවියාද, ඒ වගේම “ජනතා ගෞරවය හා කුල බලය” නිසා දෙවි වූ රදළයෙකි…මේ නාථ නොහොත් “කිරි රජ්ජුරු බණ්ඩාර” දෙවියන්ට වඳින වැඳුම් හෝ පුදන පිදුම් අප “සෙංකඩගල රාජධානියෙන්” ඔබ්බට අසා නැත…( මෛත්‍රී බෝසත් දෙව් රජුට යම් හරසරක් දැක්වීම නම් අප වසර 2000 ක පමණ කාළයක් තිස්සේ සිදු කළත්, “නාථ” නම් දෙවියෙකු එයට ආරෝපණය වුණේ පසුව නොවැ…).. “සෙංකඩගල රාජධානිය” යනු ලක්දිව බුදු සසුන දරුණු ලෙසටම පිරිහුණු, සහ ඒ පිරිහීම මත පිනුම් ගැසූ “බුදු සමය විකුණා කන” සියළු වර්ග වල “මිථ්‍යාවන්ගේ” තෝතැන්නකි….
ඇත්ත වශයෙන්ම “සිංහලයාගේ” පරිහාණිකර සාධකය ලෙස පෙන්විය හැකි රාජධානිය කන්ද උඩරට අවසාන රාජධානියයි.. එවැන්නකින් බිහිවන දේව විශ්වාස වල තරම සිතා ගැනීම, බුද්ධිමතුන්ට භාර කරුණකි….රදළයන් යහපත් මිනිසුන් ලෙස දිවි ගෙවන්නේ නම්, ඔවුන් අනිවාර්යෙන්ම දේවත්වයට පත්වනු ඇත…එහෙම වීම ගැන කිසිදු ගැටළුවක් නැත…නමුත් අප ඉහත දි ඉතා පැහැදිලිව හඳුන්වා දුන් පිනෙන් පිරී “පූර්ව බුද්ධ භවයේ” සිටින “මහා සංතොෂින දිව්‍ය රාජයා නොහොත් සංතොසින දෙව් රජු”, “නාථ” දෙවියන්ට ආදේශ කළ නොහැක…”නාථ” නමින් දෙවියෙකු සිටියේ හෝ නොවේවා, ඒ “හටන් සහ හබ” ඇති කර ගන්නා, නින්ද ගම් ලියවිලි ප්‍රකාරව, “නැදුන්ගමුවෙන්” කන්ද උඩරටට පලා ආ ( මේවාත් එවකට සිදුවූ ඓතිහාසික සිද්ධි ඇසුරෙන් නිමැවුණු ජන ප්‍රවාදය…) “නාථ දෙවියන්” ( බෝසත් වරු පලා නොයති…), මතු මත්තේ බුදුවන 16 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරාලූ අපේ මෛත්‍රී බෝධි සත්වයෝ නම් නොවෙති…
….මෙත් බෝ සත් වත් කෙලෙසන විකාර….
මේ ඉතාම මෑත කාළයක සිට අපේ රටේ ඉන්නා මහා බුද්ධිමත් ජනතාවට මඟ පෙන්වන බව කියන අයටත් අමුතු රෝගයක් සෑදී ඇත..ඒ “මෙත් බෝසතුන්ව” මාකට් කර ගැනීමයි…
දකුණේ සිරිවර්ධන නම් මානසික රෝගී තත්වයක් ඇත්තෙකු පහළ වී, “තමා මෛත්‍රි බුදුන් ” යැයි කියා ගෙන, බොහෝ ජනතාව නොමඟ යවති…අපේ ඇත්තන් ද ” සාදු” කියාගෙන එතනට දුවති…කොළඹට නුදුරු එක් තරා “වායු සමණය” කළ, කුඩා “ලක්සරි” ආරාමයක් සාදාගෙන සිටින චීවර ධාරියෙකු, මෛත්‍රී බෝධි සත්ව වන්දනාවක් කරයි…ඒකත් කදිම බිස්නස් එකක් වී ඇති බව එහි යන්නෝ කියති…ඔය අස්සේම, සෙල්ල කතරගම සිට මුළු රටටම, අමු, අමුවේම බොදු විරෝධී “ශාස්වථ” මිසදිටුව බෙදන “විෂ්ණු – ලක්ෂ්මී” දේවාල ජාවාරමේද, එක කුටියක “මෛත්‍රී බෝසතුන්ව” විකිණෙති…
වඩාත් හිනා යන වැඩේ වෙන්නේ, “නාථ” දෙවියන් යනු අපේ “මෛත්‍රී බෝසතුන්ය” යනුවෙන් රටේ ඇති දුර්මතය, ඒ අයුරින්ම ග්‍රහණය කර ගත් ( හෝ උවමනාවෙන්ම එය එසේ නොවන බව දැන, දැනත් එලෙස අල්ලා ගෙන සිටින ) සමහරුන්ට, මෙන්ඩලියෙෆ් ගේ ආවර්තිතා වගුවේ රසායනික මූල ද්‍රව්‍ය වල “ඉංග්‍රීසි” නම් කියා දෙන්නටත්, ඒවා ඇත්දැයි බලා දෙන්නටත්, මෛත්‍රී බෝසතුන් යැයි “ඔවුන් සිතා සිටින” නාථ දෙවියන් ඉදිරිපත් වී තිබීමය…( දැන් මේ ගැන සමාජ කතිකාවතක් ඇති වී, උගත් භික්ෂූන් වහන්සේලා, “මේ නාථ දෙවියන් යනු මෛත්‍රී බෝසතුන් නොවේය” යන්න තහවුරු කළොත්, ඒ අය වෙනත් මොකක් හෝ නමක් සොයා ගනු ඇත…)
“හදිස්සියේ වත් නාථ දෙවියන් යනු මෛත්‍රී බෝසතුන් නොවුණොත් වෙන්නේ මොකදැයි?” නාටකයේ තිර පිටපත් ලියූවන්ට අමතක වී ගොස් ඇති සැටියකි…ඒවායින් අපට කමක් නැත…සිරිවර්ධන හෝ වේවා, බෙල්ලන්තර ආරාමයේ හෝ වේවා, සෙල්ල කතරගම හෝ වේවා, එහෙමත් නැත්නම් වෙනත් ඇත්තන් ළඟ හෝ වේවා, බුදු දහමට කළ හැකි ලොකුම විනය, එහි සිවු වණක් පිරිස අතරට ” දේව සබඳතා හෝ දේවවාදී අනාගත නිමිති, අනාවැකි” ආදි දේ රිංගවීමයි…එයින්ම බෞද්ධයාගේ “බුදුන් වහන්සේ” කෙරෙහි පමණක් ඇති ආධ්‍යාත්මික විශ්වාසය පළුදු වෙයි…
ආර්ථික විද්‍යාව, දේශපාලනය වශයෙන් එක්, එක් ක්ෂේත්‍රයන් වෙන්, වෙන්ව ගෙන බැලීම බටහිර ක්‍රමය වුවද, එසේ කරන බෞද්ධයා, තම අධ්‍යාත්මික ස්ථානයෙහි, හෙවත් ඉහළම තැන බුදු රජාණෝ තබාගෙන ඉන්නේ නම්, ඔහු බුදු රදුන්ට වෙන කිසිවෙක් සම නොකරති…ඒ බව ගංගොඩවිල සෝම හිමිපාණන් ඇසුරේ ඇතිවූ බොදු ප්‍රබෝධය සහ එයටම දායක වූ බොහෝ බටහිර දැනුම් පද්ධතිය මත තවමත් සිටින වෛද්‍ය වරු, විදුදරයන් ආදී ඇත්තන් වෙතින් අපට උකහා ගත හැකි පණිවිඩයයි…ආචාර්ය චන්දන ජයරත්නයන් විටෙක කීවේ “මට අනුව නෝර්මන් ලොකියර් වැනි අය ශ්‍රේෂ්ඨ මිනිසුන්ය…නමුත් ඒ කිසිවෙකු මගේ ආධ්‍යාත්මයේ පරමෝත්තමව තබාගෙන සිටින බුදු රජාණන් වහන්සේට ආසන්නයෙන් වත් සම නොකරමි” කියාය..
වඩාත් බරපතළ හානියක් බුදු සමයට කරන්නේ, “ශාස්වථ වාදයට” ඉඩක් නොතබා ප්‍රතික්ෂේප කරන තලයක් මත වැඩෙන, නූතන බටහිර විද්‍යාව සහ බුදු සමය යන දෙකම, එකට ඇසුරු කරන අයද? නැත්නම් “බටහිර විද්‍යාව අපට එපා” කියමින්, “විවෘත කොන්” ( Open – Ended Predictions) සහිත “කණා අනාවැකි” කියමින්, විද්‍යාත්මක පරීක්ෂණ මත ලබා ගත් නිගමනයන්ට, “ස්වාධීන වූ ඤාණයක්” එක් කිරීමට යැයි කියා, ඒ සෑම දෙයකටම මෛත්‍රී බෝසතුන්වත් ඈඳා ගෙන, බුදු සමයේ “විඤාණිත” හර පද්ධතියේ සැකැස්මටම තර්ජනය කරන අයද?…”විමසීමකින් තොරව පිළි නොගන්න!” යැයි බුදු පියාණෝ කාලාම සූත්‍රයෙහි දේශනා කොට ඇත…බටහිර විද්‍යාවද උත්සාහ දරන්නේ, හැකි තාක් දුරට උපරිමයෙන් “විමසාම” කරුණු තහවුරු කර ගන්නටය…බුදු සමය හමුවේ, නූතන බටහිර විද්‍යාව “සැට වියැති පඬි රුවණක් හමුවේ තබන ලද කිරි දරුවෙකු බඳුය…” එහෙත්, යම් කිසි හෝ පෑහීමක් බුදු සමයේ ඇත්තේ බටහිර විදුව සමඟද ? එහෙම නැත්නම්, කිසිම විමසීමක් නැතිව “කට වචනය පමණක් පිළි ගනිල්ලා” කියා අණ දෙන, “සාස්තර කාරයන්ගේ අනාවැකි කීම් හා පිරියෙසුම් වලටද?” ( Ultra- Physical acceptance in “blind” form )…
තුසිතයෙහි වැඩ වෙසෙන මෛත්‍රී බෝධිසත්වයන් මොන වාගේ තෙදැති ගාම්භීර චරිතයක් දැයි අප ඔබට පැහැදිලි කර දුන්නෙමු…ඒ චරිතය මොන යම් හෝ “පෞද්ගලික ව්‍යාපෘතියක්” සඳහා යොදාගෙන ඇති සැමට අප කිව යුතු වන්නේ, ඒ මතු මත්තේ බුදු වන ශ්‍රේෂ්ඨ චරිතයෙහි නම කැලැල් නොකරනු!” යන්න පමණි…
0 comments:
Post a Comment