Wednesday, July 20, 2011

මාංශ අනුභව කරමින් පන්සිල් රකින සමාජයක් පැතීම මිරිඟුවකි

මාංශ අනුභව කරමින් පන්සිල් රකින සමාජයක් පැතීම මිරිඟුවකි



 
මිනිසා තිරිසන් සතුන්ගේ මස් අනුභව කිරීම දහසක් වසරකට ඈත සිටම පැවැත එන සිරිතක් ලෙස ප්‍රකට ය. එය ඔහුගේ වනචාරී යුගයේ ආවේණික ජීවන ලක්‍ෂණයකි. ක්‍රි.පූ. 6 වන ශත වර්ෂය පමණ වන විට ඔහු සතුන් මරා මස් අනුභව කළා පමණක් නොව සතුන් මරා දෙවියන් හමුවේ පූජා කරමින් (බිලි, පූජා, ගිනි දෙවි පූජා) ස්වකීය විමුක්තිය ප්‍රාර්ථනා කිරීමට තරම් ක්‍රියාත්මක වූහ. මේ අයුරින් ඉතිහාසය පුරාම මිනිසාගෙන් අසරණ සතුන්ට වූ මරණ බිය පිළිබඳ කිසි ගැලවීමක් නොවී ය.
මිනිසාගේ ජීවිතය තුළ පස් පව් වලින් වැළකී සිටීම උතුම් චර්යා ලක්‍ෂණයක් බව බුදුන් වහන්සේ විසින් අනුදැන වැදෑරීමෙන් පසු ඇතැම් සතුන්ට සිය ජීවිත අපේක්‍ෂාව පිළිබඳ මඳ අස්වැසිල්ලක් ලැබිණි. පංච ශීලය අනුමත කිරීම පමණක් නොව උන්වහන්සේගේ බොහෝ දේශනා තුළ දී ප්‍රාණඝාතය මිනිසා විසින් නො කළ යුතු දෙයක් සේ දේශනා කිරීම නිසා සත්ව ඝාතනය පිළිබඳ එතෙක් පැවැති නැඹුරුව පහව ගියේ ය. ඝාතනය වෙනුවට සතුන් කෙරේ කරුණාව දැක්වීම හා ඔවුන්ට මෛත්‍රීය පැතිරවීම තුළින් සිදු වූයේ සැබෑම සමාජ චින්තන පරිවර්තනයකි.
ජේතවනාරාමයේ දී ජබ්බග්ගීය භික්‍ෂූන් අමතා කළ දේශනාව මෙසේ ය.
“සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයේ
සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේසං ජීවිතං පියං
අත්තානං උප මං කත්වා
න හනෙය්‍ය න ඝාතයේ” (ධ.ප. 129- 130 )
තව ද, ‘ආර්ය’ නම් වූ වැද්දෙක් අරභයා කළ දේශනාවෙන් ද කියැවෙන්නේ ප්‍රාණීන් කෙරෙහි අවිහිංසාවෙන් යුක්ත විය යුතු බවයි.
“ නතේන අරියෝ හෝති යේන පාණානිහිංසතී
අහිංසා සබ්බපාණනං අරියෝති පවුච්චතී” (ධ.ප. 270)
දහසක් වසක් මුළුල්ලේ බුදුදහමෙන් පෝෂණය වූ ජාතියක් ලෙස සංවර්ධනයට පත් වූහයි පවසන ඇතැම් බෞද්ධයන් අදත් තිරිසන් සතුන්ගේ මස් බුදීමට දක්වන කැමැත්ත, ගිජුකම අතහැර නැත. මෙය බෙහෙවින් ශෝචනීය තත්ත්වයක් මෙන්ම මිනිසුන් තමන්ගේ හදවත හා මනස රවටා ගැනීමක් නොවන්නේ ද?
ඔබ ඔබේ ශරීරයට කොතරම් ආශා කරනවාද? එලෙසම අන්‍යයෝ ඔවුන්ගේ ශරීරවලට ඒ තරම්ම ආශා කරන්නෝ ය. යන පාඨය දුර්ගා මෑණියන්ගේ කියමනක් ලෙස හින්දු දහමෙහි සඳහන් වෙයි.
කුණු රසට කොතරම් ගිජුද කිවහොත් ඇතැම් බෞද්ධයෝ මස් කෑම අකැමැත්තෙන් මෙන් නතර කර, මාළු, කරවල, උම්බලකඩ කෑම තවදුරටත් කරගෙන යති. මස්, මාළු, කරවල, උම්බලකඩ යන සියල්ල සතුන්ගේ ශරීර කොටස්ම බව කුණු රසටම ගිජුවීම නිසා ඔවුහු අමතක කරති.
පන්සිල් වූ කලි මෙලොව ජීවත් වන සියලු මනුෂ්‍යයන්ටම සිය ජීවිතය සදාචාර සම්පන්න ලෙස ගොඩනඟා ගැනීම සඳහා ඉවහල් වන ආචාර ධර්ම පහකි. බෞද්ධයාට එලොව මෙලොව දිනවන මනා දිවි පෙවෙතක් ගත කිරීම සඳහා පන්සිල් ආරක්‍ෂා කිරීම හේතු වෙයි.
කිසි දු සතෙක් මරන්න එපා, මරවන්න එපා, යනු බුදු වදනයි. සත්ව මාංස අනුභවයෙන් සතුන් මරවන්නට අනුබල දීමක් සිදුවෙයි. එසේ නම් ඉන් පාණාතිපාතා යනුවෙන් කියැවෙන ප්‍රථම සිල්පදය කැඩීමක් සිදු නොවන්නේ ද?
මේ පිළිබඳව වර්තමාන ධර්ම දේශක හිමිවරුන් එක එල්ලේ අදහස් ප්‍රකාශ නොකිරීම ගැටලුවකි. පන්සිල් රකින සමාජයක් ඇති කර ගැනීමට නම් සත්ව මාංශ අනුභව කරන චර්යාවෙන් ජනතාව බේරා ගත යුතු ය. යන අදහස සමාජයේ ප්‍රචලිත කිරීම සඳහා මීට වඩා අවධානයකින් කටයුතු කිරීම අවශ්‍ය ය.
මාංශ අනුභවයෙන් ‘පාණාතිපාතා වේරමණී’ සිල් පදය බිඳීමක් නොවන්නේ යැයි කිසිවෙකුටත් ප්‍රකාශ කළ හැකි ද? එසේ පළ කළ හැකි නම් අපගේ දැන ගැනීම සඳහා එසේ කරන ලෙස කාරුණික ඉල්ලීමක් කරමි. දිව ඉල්ලන කුණු මස් රසයට ගිජුව අසරණ සතුන් මැරීමට අනුබල දෙන මස් මාංස ගිල දමමින් පන්සිල් රකින සමාජයක් වෙත පිය නැඟීමට යත්න දැරීම සැබැවින්ම මිරිඟුවක් වෙත ලුහුබැඳීමක් නොවන්නේ ද?

0 comments:

Post a Comment