වෘත්තිය මට්ටමේ කැමරාවකින් ඡායාරූපයක් ලබාගැනීම ආධුනිකයෙක්ට නම් තරමක් අසීරු කාරණාවක්. ස්වයංක්‍රීය සැකසුම් වල උදව්වෙන් ඡායාරූප ලබාගත හැකි වුවත් කැමරාවේ ඇති සැකසුම් පිළිබඳ හරි අවබෝධයක් නොමැතිව හොඳ, ගුණාත්මක ඡායාරූපයක් ලබා ගන්නට බැහැ. ඉතින් මේ වගේ වෘත්තිය කැමරාවකින් වැඩ ගන්න හැටි ඉගෙනගන්න නම් අපිට ඡායාරූපකරණ පාඨමාලාවක් හදාරන්න වෙනවා. ඒ වෙනුවෙන් මුදල් හා කාලය වියදම් කරන්න බැරි, ඒත් ඡායාරූපකරණය ගැන උනන්දුවක් තියෙන හැමෝම වෙනුවෙන් ලබාදෙන විශිෂ්ඨ සේවාවක් ගැන තමයි මේ කියන්නේ. එහෙනම් අපි යමු අපේ අන්තර්ජාල ඡායාරූපකරණ පන්තියට...
අන්තර්ජාල සේවාවක් වන මෙය හඳුන්වන්නේ CameraSim නමින්. http://camerasim.com/camera-simulator.html යන ලිපිනයෙන් ඔබට මේ වෙත පිවිසිය හැකියි. නොමිලේ ලබා දෙන සේවාවක් නිසා එහි පිවිසි විගසම වැඩ පටන්ගන්න පුළුවන්. මේ වෙබ් පිටුව තනා ඇත්තේ වෘත්තිය SLR කැමරාවක ඇති සැකසුම් ඔබටම අත්හදා බලන්නට හැකි ආකාරයටයි. ඉහළින් කුඩා ගැහැණු ළමයෙක් ක්‍රීඩා පිට්ටනියක සිටින ආකාරයේ දර්ශණයක් කැමරාවට හසුකර ගෙන ඇති අතර මෙහි පහතින් ඇති විවිධ සැකසුම් වෙනස් කිරීමෙන් අපට අවශ්‍ය පරිදි දර්ශනය හසුරුවා ගෙන ඡායාරූපය ලබාගත් පසු කෙසේ ලැබේවි දැයි බලාගන්නට පුළුවන්.
මෙහි දකුණුපස කෙළවරේ ඇති රවුම් බොත්තම (Snap Photo!) මගින් ඡායාරූපය ලබාගන්නට පුළුවන්. ඊට පහතින් ඇති Use a Tripod යන්න සක්‍රීය කිරීමෙන් කැමරාව ආධාරකයක් මත තබා ඇති විටෙක මෙන් පෙනෙන දර්ශණය නොසෙල්වී තබා ගන්නට පුළුවන්. කැමරා තිරය පහලින් කොළ පැහැති ආකාරයෙන් දක්වා ඇති දර්ශක මගින් අදාල අගයන් නැරඹිය හැකි අතර එහි සුචකය මධ්‍යය ලක්ෂයට සමපාත වන ලෙස අනෙකුත් පාලක සීරුමාරු කිරීමෙන් පැහැදිලි ඡායාරූපයක් ලබාගැනීමට හැකියි. මෙහි ඇති සැකසුම් පිළිබඳ විස්තරයක් දැන් බලමු.
Lighting (ලයිටිං)
මෙමගින් කැමරා කාචයට ලැබෙන ආලෝක තත්ත්වය සැකසිය හැකියි. ආලෝකය යනු හොඳ ඡායාරූපයක මූලිකම සාධකය වන බැවින් මෙය ඉතා වැදගත් සැකසුමකි. මෙය සීරුමාරු කිරීමෙන් ගෘහස්ථ පරිසරයක ඇති මඳ අඳුරු ආලෝකයේ සිට එළිමහනේ තද හිරුඑළිය දක්වා විවිධ පරාසයන්ට අනුව කැමරාවට නගන දර්ශණයේ ආලෝකය සකසා ගැනීමට පුළුවන. මෙම පාලකය සීරුමාරු කර බැලීමෙන් ඔබටම මෙය අත්හදා බැලිය හැකියි.
Distance (ඩිස්ටන්ස්)
මෙමගින් සිදුවන්නේ ඡායාරූපයට නගන වස්තුව හා කැමරාව (ඡායාරූප ශිල්පියා) අතර දුර ප්‍රමාණය අඩු වැඩි වීමයි. මෙය Zoom කිරීම ලෙස වරදවා වටහා නොගත යුතුයි. මෙම දුර සීරුමාරු කිරීමෙන් මෙහි දර්ශණය ලෙස යොදාගෙන ඇති කුඩා ගැහැණු ලමයා කුඩා හෝ විශාල වීම සිදුවේ. ඔබ මෙහි දුර ප්‍රමාණය අඩු කරමින් කැමරාව වස්තුව අසලටම ගෙන ගිය හොත් පසුතලයේ ඇති ක්‍රීඩාපිටියට වඩා වේගයෙන් ඉදිරිපස වස්තුව (කුඩා ගැහැණූ ළමයා) විශාලවන බව පෙනී යනු ඇත. වස්තුවත් කාචයත් අතර ඇති දුර වෙනස් කිරීම නිසා සිදුවන මේ සංසිද්ධිය පැරලැක්ස් ආචරණය ලෙස හැඳින්වේ. පසුතලයට වඩා ඡායාරූපයට නගන වස්තුව ඉස්මතු කොට දැක්වීමට මෙය උපයෝගී කරගත හැකියි.
Focal Length (ෆෝකල් ලෙන්ත්)
කාචයේ නාභි දුර සකසන්නේ මෙමගිනි. කැමරාවක් භාවිතයේදී Zoom ලෙස හැඳින්වෙන්නේ ද මෙයයි. ඉහත දැක්වූ අවස්ථාවට වඩා මෙහිදී සිදුවන දෙය වෙනස් වන්නේ කැමරාවත් වස්තුවත් නිශ්චලව පවතිද්දී කාචය පමණක් සීරුමාරු කර විශාලනය සිදු කල හැකි වීමයි. මෙහිදී වස්තුවත් පසුතලයත් යන දෙකම එකම පරිමාණයට විශාලනය වේ. Zoom Out කිරීමෙන් විශාල පරාසයක් ඡායාරූපයට හසුකර ගත හැකි අතර, Zoom In කිරීමෙන් වස්තුව පමණක් ඡායාරූපගත කළ හැකියි. ඔබ මෙහිදී මතක තබා ගත යුත්තේ Zoom කිරීමත්, වස්තුව වෙතට හෝ ඉන් ඉවතට ඇවිදයාමෙන් දුර වෙනස් කිරීමත් යන ක්‍රම දෙකෙන්ම දර්ශණය ලොකු කුඩා කළ හැකි වුවත් ලැඛෙන ප්‍රතිඵලය එකිනෙකට වෙනස් බවයි.
Mode (මෝඩ්)
මෙම කොටසෙහි සැකසුම් විධි තුන මගින් ඔබට අවශ්‍ය ආකාරයට කැමරාවේ අනාවරක (exposure) සැකසුම් සාදාගත හැකියි. දකුණු පස ඇති පාලක අතරින් එකක් සීරුමාරු කරන විට අනෙක් සැකසුම් ඊට අනුව සැකසේ. ඔබ Shutter Priority Mode තෝරා ගත හොත් Shutter Speed වෙනස් කරන විට Aperture හි සැකසුම් ඊට අනුකූලව ඉබේම සැකසේ. Aperture Priority Mode තෝරා ගත හොත් Aperture හි සැකසුම් වෙනස් කරන විට Shutter Speed ඉබේම සැකසේ. Manual ලෙස තේරීම මගින් ඔබට කැමති ආකාරයකට මේ පාලක සීරුමාරු කර සැකසුම් කළ හැකියි. මීට අමතරව වෘත්තීය මට්ටමේ SLR කැමරාවල, "Fully Automatic" mode (ස්වයංක්‍රීය සැකසුම) ලෙස තවත් ආකාරයක් පවතී.
ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කැමරා විවරය විවෘත වීමේදී එහි ප්‍රමාණය සැකසීම මෙමගින් සිදුවේ. මෙහි අගය අඩු වීමේදී විවරයේ ප්‍රමාණය විශාල වේ. මෙහිදී වැදගත් වන්නේ Aperture හි අගය වැඩි වන විට පසුතලය හා වස්තුව යන සමස්ථ දර්ශණයම හොඳින් නාභිගත වන අතර මේ සඳහා වැඩි ආලෝක තත්ත්වයක් අවශ්‍ය වීමයි. එමෙන්ම අගය අඩු වන විට නාභිගත වීම අඩුවී ඡායාරූපය බොඳ වුනු ස්වභාවයක් ගනියි. එහෙත් එහිදී අඩු ආලෝක තත්ත්වයකදීත් ඡායාරූපගත කළ හැකියි.
කැමරාවේ අභ්‍යන්තරයට ආලෝකය ලබාදෙන කාච විවරයේ වේගය පාලනය කරන්නේ මේ මගිනි. මේ ද්වාර වේගය වැඩි වන තරමට පින්තූරය ස්ථීර බවක් පෙන්වන අතර ඒ සඳහා හොඳ ආලෝකයක් අවශ්‍යයි. ආලෝකය අඩු අවස්ථාවන්හිදී අඩු ද්වාර වේගයක් ගැලපෙන මුත් සෙලවෙන වස්තූන් පෙන්වන්නේ බොඳ වුනු ආකාරයෙනි.
ඡායාරූපය ගන්නා අවස්ථාවේදී ඇති ආලෝකයට අනුව දළ සේයාපටයේ ආලෝක සංවේදීතාවය මෙමගින් සැකසිය හැකියි. මෙය වැඩි අගයකට සැකසීමෙන් අඳුරු ආලෝක තත්ත්වයකදී වුවත් වැඩි Shutter Speed එකක් සහිතව ඡායාරූප ලබාගත හැකි වුවත් දූවිලි වැනි ආලෝක කනිකාවන් (Grain) ඇති කරයි. ISO අඩු අගයක් දුන් විට පැහැදිලි රූපයක් ලැඛෙන අතර ඒ සඳහා හොඳ ආලෝක තත්ත්වයක් තිබිය යුතුයි. සාමාන්‍යයෙන් ISO සැකසුම් අඩු අගයකට සකසනු ලබයි.
camerasim හි දැක්වෙන අගයයන්හි Shutter Speed ඇත්තේ 1/125 sec ආකාරයෙනි. මෙම සැකසුම් යටතේ ඡායාරූපයක් ගෙන බැලූවහොත් ලැබෙන ඡායාරූපයේ දැරිය අත ඇති කැරකැවෙන රූංපෙත්ත බොඳවී ඇති ආකාරයක් පෙනෙනු ඇත. මෙම අගය 1/20 sec දක්වා අඩුකල හොත් මුළු රූංපෙත්තම බොඳවී නොපෙනී ගොස් ඇති අයුරු පෙනේවි. නමුත් Shutter Speed අගය 1/500 sec ක් පමණ වැඩි කළ විට රූංපෙත්ත නොසෙල්වී ඡායාරූප ගතවී ඇති ආකාරය දක්නට ලැබේ. මේ අගයයන් වෙනස් කර camerasim මගින් උත්සාහ කර බලන්න.
ඔබ Shutter Speed හි අගය අඩුම ප්‍රමාණයකට සැකසුවහොත් Aperture හි අගය එහි උපරිම ප්‍රමාණයට (F/36) වැඩි වේ. Shutter Speed අගය 1/13 sec ට වඩා අඩුවූ විට ඡායාරූපයේ අනාවරණය වැඩි වීම නිසා ඡායාරූපය නොපැහැදිලි වේ. මෙය Overexposed ලෙස හැඳින්වේ. එමෙන්ම ISO අගය 100 කට සකසා Shutter Speed අගය 1/1250 sec වලට වඩා වැඩි කළ විට ඡායාරූපය අඳුරු පැහැ වේ. මෙය Underexposed ලෙස හැඳින්වේ.
තවත් වැදගත් සැකසුමක් ලෙස Aperture හඳුන්වා දිය හැකියි. බොහෝ ඡායාරූප ශිල්පීන් තම ඡායාරූපයන් හි ඉලක්කගත වස්තුව ඉස්මතු කොට පෙන්වීම සඳහා පසුතලය බොඳ කර ඡායාරූප ගත කිරීමට පෙළඹේ. Aperture හි අගය තරමක් අඩු කිරීමෙන් (මෙහිදී Shutter Speed අගය වැඩිවේ) මේ ආකාරයට ඡායාරූප ලබාගත හැකියි.
Good post
ReplyDelete