This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Thursday, December 29, 2011

◘ කෙල්ලනේ පරිස්සමින් ◘▬◘

◘▬◘ කෙල්ලනේ පරිස්සමින් ◘▬◘

◄..Pinhole කැමරා..►

මේ උත්සව සමයේ සාප්පු සවාරි යන අපේ ගෑණු ළමයින්ටයි මේ මතක් කිරීම. මේ රූපයේ පෙන්වා ඇති අයුරු pinhole කැමරා නම් ඉතා කුඩා කැමරා වර්ගයක් trial rooms තුළ සවිකොට ඔයාලා ඇඳුම් මාරුකරන විට ඒ දර්ශන වීඩියෝගත කරනවා කිව්වොත් ඔබ පුදුම වේවි නේද?

ඇත්තටම දැන් දැන් ඒ ප්‍රවණතාව බොහෝම වැඩි වෙමින් යන බැවින් ඔබ සියලු දෙනාම ඒ පිළිබඳව දැනුවත් කිරීමට සිතුවා.

•Pinhole කැමරා ඇත්දැයි පරීක්‍ෂා කරගන්නා අන්දම.
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
ඔබ trial rooms තුළට ඇතුල්වීමට පෙර ඔබගේ ජංගම දුරකතනයෙන් දුරකතන ඇමතුමක් ගැනීමට හැකිදැයි පරීක්‍ෂා කරන්න. හැකිනම් ඉන්පසු ඒ තුළට ඇතුළුවී නැවත දුරකතන ඇමතුමක් ගැනීමට හැකිදැයි පරීක්‍ෂා කරන්න. ඔබට එවිට දුරකතන ඇමතුමක් ලබාගත නොහැකි නම් ඒ තුළ pinhole කැමරාවක් ඇති බව සනාථ වේ.

මේ කැමරා ඇත්තේ trial rooms තුළ පමණක්ම නොවේ. පොදු වැසිකිලි තුළ, හෝටල් නාන කාමර තුළ පවා මේවා සඟවා තබා ඔබව වීඩියෝගත කිරීමට ඉඩ ඇති බව සිහිතබා ගන්න.

◄..2-way Mirrors..►

Pinhole කැමරා සේම තවත් භයානක දෙයක් දැන් trial rooms තුළ සවි කර තිබෙනවා. ඒ තමයි 2-way mirrors. 2-way mirrors යනු එම කණ්ණාඩියට පිටුපසින් සිටින අයෙකුට ඔබව පෙනෙන අතර ඔබට ඔවුන්ව නොපෙනීමයි. ඉතිං ඔබ එවන් කණ්ණාඩියක් ඉදිරිපිට සිට ඇඳුම් මාරුකලහොත් සිදුවන දේ පැහැදිළියි නේද?

•2-way Mirrors භාවිතා කොට ඇත්දැයි පරීක්‍ෂා කරගන්නා අන්දම.
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
ඔබ ඉදිරියේ ඇති කණ්ණාඩිය මත ඔබේ ඇඟිලි තුඩ තබන්න. එවිට එහි ඇතිවන ප්‍රතිබිම්භය සහ ඔබේ ඇඟිලි තුඩ අතර හිඩසක් පෙනෙන්නට තිබේ නම් ඒ සාමාන්‍යය කණ්ණාඩියකි. නමුත් එසේ නොවී ඔබේ ඇඟිලි තුඩ ඍජුව ප්‍රතිබිම්භයෙහි ගැටේ නම් එය 2-way mirror එකක් බව සනාථ වේ.

මේ දේ හැකිතාක් ඔබේ මිතුරියන් සමඟ බෙදාගෙන ඔවුන්වත් දැනුවත් කරන්න. ඔබේම සහෝදරිය, ඔබේම ආදරවන්තිය මේ දේට ගොදුරු විය හැකි බව සිහියට ගන්න.

Monday, December 26, 2011

නිර්මාංශ වීමෙන් නිරෝගීකම, ප්‍රියමනාප පෙනුම ඇති වෙනවා

නිර්මාංශ වීමෙන් 
නිරෝගීකම, ප්‍රියමනාප පෙනුම ඇති වෙනවා


ස්‌වාභාවික විපත් අවම කරගැනීම ශාරීරික සහ මානසික වශයෙන් නිරෝගී ජනතාවක්‌ බිහිවනු දැකීම පාපයෙන් මිදුනු යහ ගුණ සපිරි සාරධර්මවලින් පිරිපුන් වූ සමාජයක්‌ ගොඩ නැගීම. මෙම අපේක්‌ෂාවන් සපල වනු දැකීමට නම් සත්ත්ව මාංශ අනුභවයෙන් හිංසනයෙන් වැලකී නිර්මාංශ වී නිවැරදි ජීවන රටාවකට හුරුවිය යුතු බව පෙන්වා දෙමින් ඒ පිළිබඳ මිනිසුන් දැනුවත් කරමින් පූජා උත්තම පූජා නමින් ධර්ම යාත්‍රාවක්‌ රට පුරා රැගෙන යන සංවිධානයක්‌ ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වී ඇත. ඒ අවිහිංසාවාදී සංගමය යි. තියුණු ආයුධවලින් කපා දස වද දී ඝාතනයට ලක්‌ කරන අසරණ සතුනට අභය දානය දී ඉන් පරිසරය සහ මිනිසා රැක ගැනීමේ මෛත්‍රි සහගත උදාර පරමාර්ථය පෙරදැරි කරගෙන මෙම සංවිධානය පිහිටුවා ඇත. 

මෙම සංගමයේ නිර්මාතෘ මෙන්ම එහි සභාපති ධුරය දරමින් කටයුතු කරන්නේ දේශමාන්‍ය ධර්ම පුත්‍ර නිහාල් විඡේරත්න මැතිතුමා ය. මෙම කර්තව්‍ය පිළිබඳ වැඩි විස්‌තර දැන ගැනීමට එතුමා සමඟ පිළිසඳරක යෙදුනෙමු. 



ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංගමය නමින් මෙවැනි සංගමයක්‌ පිහිටුවීමට ඔබතුමා අදහස්‌ කළේ ඇයි?

මා දේශපාලන භූමියේ සිට ඉන් බැහැරව සමාජයේ යහපත් වෙනසක්‌ ඇති කිරිමට අදහස්‌ කළා. අද සාරධර්ම ගුණදහම් පරිහානිය කරා යනවා. මා මහත්මා ගාන්ධි තුමා, බලංගොඩ ආනන්ද මෛත්‍රිය ස්‌වාමින් වහන්සේ වැනි උත්තමයන් විසින් ලියන ලද පොත පත කියවා තිබෙනවා. එයින් බොහෝ යහපත් කරුණු වටහා ගත්තා. බුදු දහම අනුවද ජීවිතය යහපත් කරගන්න නම් පංච ශීලයවත් රැකිය යුතුයි. ප්‍රථම සිල් පදය එනම් සතුන් මැරිමෙන් වැළකි සිටියොත් මිනිසාට විශාල යහපතක්‌ සිදුවන බව මට වැටහුනා. එම නිසා නිර්මාංශවීමෙන් ලැබෙන ආවිහිංසනය පිළිබඳ ජනතාව දැනුවත් කිරිමේ අරමුණින් මෙය ආරම්භ කළා.



නිර්මාංශ වීමෙන් මිනිසාට සිදුවන යහපත ඔබ පෙන්වා දෙන්නේ කොහොමද? 

නිර්මාංශ වීමෙන් පාරිසරික වශයෙන් බලපාන විපත් අවම කරගත හැකි වෙනවා. ලෙඩ රෝග අඩු නිරෝගි අය බිහිවෙනවා. පාප ක්‍රියාවලින් වැලකුන උතුම් මිනිස්‌ ගති ඇති සැබෑම මිනිසෙකු ලෙස ජීවත් වෙන්න පුළුවන් වෙනවා. 



ඔබ කීවා නිර්මාංශ වීමෙන් නිරෝගීකම රැකෙනවා කියලා. ඒ කොහොමද? 

අද බොහෝ අය හෘදයාබාධ, පිළිකා, කොලෙස්‌ටරෝල් ආතරයිටිස්‌ ආදි රෝගවලින් පීඩා විඳිනවා. සතෙකු මරණවිට ඒ සතාට දැනෙන දුක, වේදනාව, බිය නිසා ඒ සතා උමතු වෙනවා. ඒ සතාගේ ලේ විෂ වෙනවා. ඒ විෂ මස්‌ තමයි රසයට ගිජු වී අපි අනුභව කරන්නේ. ලෙඩ රෝග හැදෙන එක පුදුමයක්‌ නොවෙයි. 



නිර්මාංශ වීම පිළිබඳ සෞඛ්‍යමය පැත්තෙන් වෛද්‍යවරු අදහස්‌ දක්‌වනවාද? 

ඔව්. මේ පිළිබඳ රට පුරා මා දේශන පවත්වනවා. එම වැඩසටහන්වලට සහභාගි වී වෛද්‍යවරු අදහස්‌ දක්‌වනවා. නිරෝගී ශක්‌තිමත් ක්‍රියාශිලි දිවියකට මාංශ අනුභවය අනවශ්‍ය බව වෛද්‍යවරු පෙන්වාදෙනවා. අද පවතින නොයෙක්‌ රෝගාබාධවලින් මිදී නිරෝගීව ජීවත්වීමට නිර්මාංශ වීම බෙහෙවින් බලපාන බවත් එළවළු, පලතුරු, පලාවර්ග, ධාන්‍ය වර්ග, කිරි යනාදි ආහාර පානවල සිරුරට අවශ්‍ය පෝෂණ කොටස්‌ ඉතා ඉහළ මට්‌ටමකින් අඩංගු වී තිබෙන බව වෛද්‍යවරු පවසනවා. අද ඉතා අඩු වයසේ පසුවන දැරියන් වැඩිවියට පැමිණෙනවා. තව ගර්භාෂගත ගෙඩි, වඳභාවය මේ සියල්ලටම බලපාන හේතුවක්‌ තමයි මව්පියන් විසින් දරුවන්ට මස්‌ ආහාරයට ලබා දීම. දේශීය මෙන්ම බටහිර වෛද්‍යවරු මගේ උත්තම පූජා වැඩසටහන්වලදී මේ තොරතුරු ප්‍රකාශ කරනවා. නිර්මාංශවීමෙන් නිරෝගී වීම පමණක්‌ නොවෙයි හොඳ යහපත් මෘදු ගතිගුණත් ඇති වෙනවා. ලස්‌සන පෙනුමක්‌ද ඇති වෙනවා. 



සත්ව හිංසාවේ ආදීනව පිළිබඳ තොරතුරු ඇතුළත් අගනා සංයුක්‌ත තැටි නොමිලේ බෙදා හරිනවා නේද?

ඔව්. 0714809262 අංකයට අමතා එම තැටි නොමිලේම ලබා ගැනීමට ඕනෑම අයෙකුට අවස්‌ථාව තිබෙනවා. 

මරණය හා මරණින් මතු ජීවිතය පිළිබඳ විවිධ ආගමික අදහස්

මරණය හා මරණින් මතු ජීවිතය පිළිබඳ විවිධ ආගමික අදහස්

මානව ඉතිහාසය තුළ මරණය නමැති සංසිද්ධිය වටා බොහෝ මිථ්‍යා සංකල්පයන් ගොඩනැඟී තිබේ. ජීවත් වන තැනැත්තාගේ ප්‍රාණය නිරුද්ධවීමත් සමඟම සිදුවන ක්‍රියාවලිය වටා ගුප්තමය ස්වරූපයක් පැවැති නිසාත් එය අත්දැකීමෙන් ප්‍රත්‍යක්‍ෂකර ගැනීමට නොහැකි වූ නිසාත් මෙම මිථ්‍යාවන්ට වැඩි ඉඩකඩක් වෙන් වුණි.
එහෙත් මරණය හා එයින් අනතුරුව පුද්ගලයාට සිදුවන දේ ආගම මගින් පුළුල් ලෙස අර්ථකතනය කොට ඇත. ඒ හෙයින් එකී කරුණ පිළිබඳ ආගම වෙත වැඩි ඉඩක් වෙන්කොට දී ඇති බවද පෙනෙයි. එහෙත් ආගම් අතර පවතින මතවාදයන් සම්බන්ධයෙන් ද සමානතාවකට වඩා එකිනෙක වෙනස් මතවාදයන් දැකීම නිරීක්ෂණය කළ හැකිය.
පැරැණි ඊජිප්තු ඇදහිලි අතර මරණින් මතු ජීවිතය ගැන ක්‍රමානුකුලව දියුණු වූ නිගමන පැවැතිණි. මිනිසාගේ ආත්මය සිරුරින් පිටවී ලොවපුරා සැරිසරා නැවත සොහොන කරා එන බව විශ්වාස කළහ. මළගිය ඇත්තන්ගේ ආත්මය වසර දහස් ගණනක් පුරා විවිධ සතුන්ගේ ආත්මයන් සමඟ සම්බන්ධ වෙමින් පැවැතී, නැවැතත් මිනිස් සිරුරට ඇතුළු වන බව ඔවුන්ගේ විශ්වාසයයි. මෙසේ බොහෝ කලක් ගත වූ පසුත් ආත්මයට සිරුරට ඇතුළුවීම සඳහා මළ සිරුරු මමිගත කොට කල්තබා ගන්නා ලදී. මමිකරණයට සම්බන්ධ සියලු අවමංගල කටයුතු මියගිය තැනැත්තාට සිදුකරන ගෞරවයක් වශයෙන් සලකන ලදී. පාරාවෝ රජවරුන්ගේ සොහොන් ගැබ් තුළින් ඊජිප්තු මළගම්වලට අදාළ වැදගත් තොරතුරු හමු වේ. ඊජිප්තුවේ මළ සිරුරු මමිගත කිරිම සඳහා නීතියෙන් ම පත්කරන ලද විශේෂ පිරිසක් සිටි අතර අපරාධකරුවන්ගේ හා දඬුවම් ලැබූවන්ගේ මළ සිරුරු කිසි විටෙකත් මමිගත නොකරන ලදී.
මරණය හා සම්බන්ධ ගී‍්‍රකයන්ගේ තිබූ සිරිත් - විරිත් ඊජිප්තු සිරිත් - විරිත් තරම් උත්කර්ෂවත් නැත. ගී‍්‍රක දේශගුණය අනුව මරණයෙන් අනතුරුව සිරුර වැඩි දවසක් තබාගත නොහැකි වූ අතර ඔවුන්ගේ චාරිත්‍රයන් ද එයට අනුව ම සකස් විය. මිනී වැළලීමේ හා දැවීමේ සිරිත ඔවුන් අතර පැව තුණි. මළගිය තැනැත්තා විශේෂිත අයකු නම් ඔහු වෙනුවෙන් දුක්ගීත ගැයීම ද සිදු කරන ලදී. මළ සිරුර සමඟම යම් යම් වටිනා භාණ්ඩ භූ®මදානය කිරීමේ සිරිතක්ද, පැවැතුණි. මළවුන් සම්බන්ධයෙන් ගී‍්‍රකයන් අතර පැවැතියේ භය පක්ෂපාතී බවකි. ‘හර්මේස් ‘ නමින් හැඳින්වෙන මළගිය ඇත්තන්ගේ දේවතාවා වශයෙන් සැලකෙන සංකල්පයක් ද හමු වේ.
ඔහු මියගිය තැනැත්තාගේ සිරුරේ අරක්ෂකයා ය. මිය ගිය තැනැත්තාගේ අත්මයට ජීවත්ව ඉන්නවුන් කෙරෙහි බලපෑම් කිරීමේ හැකියාවක් ඇතැයි ගී‍්‍රකයෝ විශ්වාස කළහ. සොහොන් ගැබෙහි සිටින මියගිය තැනැත්තාට වතාවත් කළහොත් ඥාතීන්ට යහපත සැලසීමත් සතුරන්ට විපත් පැමිණවීමත් සිදුකළ හැකියැයි ඔවුන්ගේ විශ්වාස විය. ඇතැන්ස් අගනුවර මළවුන්ගේ දිනයක් උත්සවාකාරයෙන් පැවැත් වූ බවටද තොරතුරු හමු වේ. එහිදී සයනාසන හා කෑම බීම පිළියෙල කොට මළවුන්ට සංග්‍රහ කිරීමේ චාරිත්‍රයක්ද පැවැතුණි. මෙදින මියගියවුන් සිය නිවෙස්වලට පැමිණෙන බවත් මොවුහු විශ්වාස කළහ. (වර්තමාන ජපානයේ සෑම වසරකම ජූලි 13 වැනි දින මළවුන් වෙනුවෙන් පවත්වන උත්සවය ද මීට සමානය) සොහොන් ගැබ් තුළට බටයක් මගින් අහාර වත්කිරීමත්, සතකු බිලිදී සොහොන මත ඒ රුධීරය වැගිර වීමත් ඔවුන් අතර චාරිත්‍ර වශයෙන් පැවැතුණි.
රෝමන්වරු මළගිය තැනැත්තා භූමදානය කළහ. එසේ කළේ ඔහුට වරින් වර සොහොන් ගැබේ සිට පිටතට පැමිණීම සඳහායි. එම කටයුත්ත පහසු කිරීම සඳහා සොහොන් ගැබේ සිදුරක් තනා ඇත. භූමදාන කටයුතු නිසි පරිදි සිදුකිරීම මළගිය අය සඳහා සිදු කළ හැකි විශාලතම යහපත වශයෙන් සැලකේ.
පරම්පරාවේ මිය ගිය අයගේ ප්‍රතිමා රැගත් පෙරහරකින් ගොස් නගරයෙන් පිටත සොහොන් බිමකදී මළ සිරුර භූ®මදාන කරන ලදී. වසරක් පාසා ඥාති මිත්‍රාදීන් සොහොන් ගැබට පුද පූජාවන් කිරීමද සිරිතක්ව පැවැතුණි. එහිදී ආහාර වර්ග ද මිය ගිය තැනැත්තා වෙනුවෙන් පුදන ලදී. මිය ගිය ඥාතීන් වෙනුවෙන් රෝමන්වරුන් ප්‍රධාන පූජා උත්සව දෙකක් සිදුකළ අතර පුජකවරුන් පවා එම කාලය තුළදී දෙව් මැදුරු ආදිය පවා වසා දමා මියගියවුන්ගේ පූජා උත්සව වෙනුවෙන් සම්බන්ධ වී තිබේ.
තම වංශ පරම්පරාවේ මිය ගිය අය වෙනුවෙන් වැඳුම් - පිදුම් කිරීම චීන ජනයාගේ සිරිතක් විය. මියයන තැනැත්තන් භූතයන් වන බවත් ඔවුන්ගේ සැබැ බලය ආරම්භ වන්නේ එයින් පසුව බවත් චීන ජනතාවගේ විශ්වාසය විය. මිය ගිය තැනැත්තන් ජීවත්ව ඉන්නවුන් විසින් සිදුකරනු ලබන පුද පූජා බලාපොරොත්තු වන බවද ඔවුහු විශ්වාස කළහ. ඉදිරියට සිදුවන්නට ඇති විපත් දැක ඒවා වැළැක්වීම ද යහපත උදාකරදී බලාපොරොත්තු ඉටුකරදීම ද භූතාත්මයේ කාර්යය යි. දඩයම, කෘෂිකර්මය හෝ යුද්ධය සාර්ථක හෝ අසාර්ථක කිරීමේ හැකියාව මිය ගිය අයට ඇත. දුර්භික්ෂය හෝ රෝග හා ජලගැලීම් ආදිය ද වැළැක්වීමේ හැකියාව ඔවුන් සතුව පවතී. භූතාත්මය සතුටු කිරිමෙන් යහපත ද අසතුටු කිරීමෙන් විපත් ද පැමිණේ. මළගියවුන් වෙනුවෙන් ස්වකැමැත්තෙන් වැළලී මියයෑම ද වැදගත් චාරිත්‍රයක් විය. මළගියවුන් පිදීම සඳහා පූජා චාරිත්‍ර සිදුකරන ස්ථානයක් සෑම නිවෙසකම තිබුණි. චීනයේ මළවුන්ගේ දෙවොල ප්‍රධාන ස්ථානයක් ගත් තැනකි.
මරණින් මතු ජීවිතය ගැන පුරාණ ඉන්දියානු ඇදහිලි පෙර දක්වන ලද ඇදහිලිවලට වඩා තරමක් ඉදිරියට ගිය බවක් පෙනේ. ඍග්වේදයේ දැක්වෙන පරිදි හොඳ අය මරණින් මතු ස්වර්ගයට හෙවත් දෙව්ලොවට ද අනේ අය අපායට ද යති. ඍග්වේද යුගයෙන් ඇරැඹී බ්‍රාහ්මණ යුගය දක්වා පැවැති මෙම සංකල්පය උපනිෂද් යුගයේදී සංවර්ධනය විය. හෝම පූජා පවත්වා දන් දී තපස් ධර්මවල යෙදුණු අය ටික කලක් සසර සැරිසරා යම රජුගේ පීතෘ ලෝකයට ඇතුළත් වෙති. එහි කලක් සැප විඳ චන්ද්‍ර විමානයට ගොස් අභ්‍යවකාශයේදී වායුව හා මුසු වී වර්ෂාව සමඟ පොළාවට පතිත වෙති. ඉන් අනතුරුව පුරුෂයා නමැති පූජා ගින්න තුළින් පිදීමට ලක් වී ස්ත්‍රිය කෙරෙන් නැවැත උපදී. මෙයව ප්‍රතිවිරුද්ධ වූ අධර්මිෂ්ටයන් පණුවන්, කුරුල්ලන් වැනි තිරිසන් සතුන් ලෙස උපදී.
මෙම යුගයේ වැදගත් ලක්ෂණය වන්නේ පුනරුත්පත්ති සංකල්පයත් සමඟ ආත්මවාදයක් වැඩි යෑමයි. උපනිෂද් දක්වන ආකාරයට මරණ මංචකයේදී මිනිසාගේ ආත්මය ශරීරයෙන් බැහැර වේ. මෙම ‘ආත්මන්’ හා ‘බ්‍රහ්මන්’ අවබෝධකර ගැනීම විමුක්තිය සඳහා ඇති ඒකායන මාර්ගය යි. ශරීරයෙන් බැහැර වූ ජීවාත්මය පරමාත්මන් සමඟ ඒකීභූත වීම විමුක්තිය වශයෙන් දැක්වේ. ඉන් අනතුරුව කිසිදු ලොවක නූපදින අතර එය උපතින් ද මරණින් ද තොර වූ අවස්ථාවක් වේ.
යුදෙව් ආගමේ පැරැණි තෙස්තමේන්තුවේ සඳහන් වන පරිදි ආදම් හා ඒව දෙදෙනා තහනම් ගසේ ගෙඩිකෑම නිසා එම අකීකරුකමට දඬුවම් නියම කරමින් දූහුවිල්ලෙන් උපන් නුඹ දූවිල්ල කරාම යන්නේය. යනුවෙන් මරණය නමැති සංකල්පය ඉස්මතුකර ඇත. මිනිසාට මරණයෙන් පසුව සිදුවන දේ පිළිබද පැරැණි යුදෙව් ආගමේ නිශ්චිත නිගමනයක් දැකිය නොහැකිය. එහෙත් යුදෙව් සංස්කෘතිය පරිණාමයට පත්වීමත් සමඟම වෙනත් සංස්කෘතීන් සමඟ සම්මිශ්‍රණය වීමේන් මරණින් මතු ජීවිතය පිළිබඳ අදහස් ඉදිරිපත් කර තිබේ. මිනිසා මනෝකායික සත්වයෙක් වන අතර ඔහුට ආත්මයක් ඇත. යුදෙව් දහමේ ආත්මය යනුවෙන් හඳුන්වන්නේ දෙවියන් වහන්සේ විසින් මිනිසාගේ නාසය තුළට ඇතුළුකරන ලද ජීවන හුස්මයි. මිනිස් සිරුරත් ආත්මයත් එකට පවතින අතර පැරැණි යුදෙව් මතය වන්නේ සිරුරේ විනාශයත් සමඟම ආත්මය ද විනාශ වන බවයි. මරණින් පසුව යක්ෂ භූත වැනි ආත්ම ලබන බවක්ද මොවුන් තරමක් හෝ දුරට පිළිගෙන තිබුණි.
“ෂෙඕල් ‘ නමින් හඳුන්වන මරණින් පසු පවතින ලෝකයක් පිළිබඳ ද ඔවුහු විශ්වාස කළහ. මුල්කාලීන යුදෙව් මතයට අනුව නම් මළවුන්ගේ ලෝකය දෙවියන්ගේ අවධානයට ලක් නොවේ. එය දුබලතාව නියෝජනය කරන තැනකි. එතැනින් නැවැත නැඟී සිටීමක් ද සිදුනොවේ. එහෙත් කල්ගත වන විට යුදෙව්වන් බැබිලෝනියාවට සංක්‍රමණය වීමත් සමඟම මරණින් මතු ජීවිතය පිළිබඳ අදහස් බොහෝ දුරට වෙනස් විය. ‘ෂෙඕල්’ හෙවත් මළවුන්ගේ ලෝකය දෙවියන්ගේ අධිපතිත්වයට යටත් වීම, මරණයෙන් පසු උත්තානය වීම දෙවියන් වහන්සේගේ අවසාන විනිශ්චය, ස්වර්ගය හා නිරය පිළිබඳ විනිශ්චය.අවසාන ගැලවීම හෙවත් යුදෙව්වන්ගේ ගැලවුම්කරුවා වශයෙන් මෙසායාහ් හේ පහළවීම යන කරුණු මරණය හා සම්බන්ධයෙන් යුදෙව් ආගම තුළ දැකගත හැකිය.

සංස්කෘතික සාක්ෂරතාව

පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදිය යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කැර ඇති යෝජනාව පිළිබඳ ව සමාජ සංවාදයක් ගොඩනැඟීම අවශ්‍ය ය. බාල බාලිකාවන් විශාල වශයෙන් ගැබ් ගැනීම බරපතළ සමාජ ප්‍රශ්නයක් වන බැවින් ඊට පිළියමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ යෝජනාව ඉදිරිපත් කොට තිබේ. දැනට වාර්තා වී ඇති ආකාරයට බාල බාලිකාවන් හතළිස් දහසක් පමණ වසරකට ගැබ් ගනිති. මේ තත්ත්වය අවම කිරීම සඳහා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ අධ්‍යාපනය අවුරුදු දහහතර හෝ පහළොව වැනි වයසේ සිට පාසල් දරුවන්ට ලබා දිය යුතු බව සෞඛ්‍ය බලධාරීන් ගේ අදහසයි.
මේ ප්‍රශ්නය ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ කාරණයක් ලෙස ලඝුකොට සැලැකිය යුතු නැත. කාමයේ වරදවා හැසිරීමෙන් වැළැකීමට බෞද්ධ ආචාර ධර්ම පද්ධතිය යටතේ දිනපතා ප්‍රතිඥා දෙන අප බෞද්ධයන්ට මෙය අමුතුවෙන් පහදා දිය යුතු කරුණක් නො වේ. කෙ සේ වුව ද ශ්‍රී ලාංකිකයන් ගේ කාම ජීවිතය, ලිංගික හිංසනය හා අධ්‍යාපනික දුර්වලතා ආදිය පිළිබඳ ව විධිමත් අධ්‍යයනයන් සිදු කැරෙන බවක් අපි අසා නැත්තෙමු. එ බැවින් මේ තත්ත්වය අවබෝධ කැර ගැනීමට මෙහි දී උපුටා දැක්වීමට ඇත්තේ, ආචාර්ය නන්දදේව විජේසේකර මහතා විසින් 1955 වසරේ දී පළ කරන ලද ‘ලංකා ජනතාව ‘ නමැති කෘතිය යි. සිංහල ජනතාව ගේ කාම ජීවිතය ගැන එහි මෙ සේ සඳහන් කැර තිබේ.”
“ ශීත රටවලට වඩා කලින් බාල වයස්වල දීම ඇඟ පත හොඳින් වැඩෙන්නේ පරීක්‍ෂණාත්මක ගතිය ද බාල කාලයේදී ම මුහුකුරා යයි. මේ සමගම ඇඟ වසා ගැනීමේ අභිලාෂය ද ඔවුන් තුළ පහළ වේ. ලිංගික විෂයෙහි ගම්බද ළමයි ස්වකීය නගර බද සහෝදර සහෝදරියන් තරම් විමසන සුලු නොවෙති. මක්නිසා ද යත් වැඩිහිටියන් වැඩ කරන විට, නාන විට හෝ විවේක ගන්නා විටත් ඔවුන්ගේ ඇඟපසඟ අනාවරණය වී තිබෙනු දක්නා බැවිනි. ගම්වැසියෝ ඕනෑවට වඩා කෝල ගතියක් නොදක්වති. එ බැවින් ළමයින්ගේ පරීක්‍ෂණාත්මක සිතත් විමසිලිමත් ඇසත් පිනවීමට ඇතිවන අවස්ථා බොහෝ ය. නගරවල ළමයින්ට මෙ වැනි අවස්ථා නො ලැබෙන හෙයින් අවස්ථා ලබා ගැනීම පිණිස ඔවුන්ගේ වේගවත් හැඟීම් මෙහෙය වෙයි. සිත් කැලඹී අධිකතර වෙහෙසට පත් වේ. ඥානය මුහුකුරා යෑමත් කාමය පිළිබඳ අවබෝධයත් කරණකොට ගෙන පහළ වන චිත්තෝද්වේගය නිසි මඟ යොදාලීම අවශ්‍ය වෙයි. එහෙත් නිදහස් ශාරිරික ක්‍රියාවලට හා ජීව සන්තතියට ජන සමාජයෙන් ඉඩ නොලැබෙන බැවින් කාමුක චේතනා සංසිඳුවා ගැනීමට නිරන්තරයෙන් අයථා මාර්ගයෙහි යෑමට සිදුවී තිබේ.”
“ බාල බාලිකාවන්ට කාමෝද්වේගය පහළ වෙතත් ඊට හේතු කවරේද යන වගවත් එය මැඩලීමේ පිළිවෙළවත් ඔවුහු නො දනිති. එ බැවින් යම් යම් දේ අත්හදා බැලිය යුතු ව තිබේ. එක්කෝ ශිෂ්‍ය නිවාසයේ මාර්ගයෙන් නැතහොත් වෙන මාර්ගවලින් එය ඔවුහු උගනිති. සිතේ කාමුක හැඟීම් පහළවන මේ වයසේ ළමයින් ශරීරාංග සටහන් බිත්තිවල ඇඳීමෙන් තම අදහස් ප්‍රකාශ කරන බව පෙනේ. හුදෙක් සිතුවිලි මාත්‍රයෙන්ම අඳින මේ රූ සටහන්වල ශාරිරික ලක්ෂණ විද්‍යමාන නොවෙතත් බාලයන්ගේ මැඩලන ලද කාමෝද්වේගයේ තත්ත්වය වටහා ගැනීමට ඒවා සහාය වෙයි. රූපයකින් හෝ ලේඛනයකින් යමකුගේ සිතේ පහළ වූ නියම හැඟීම පැවැසේ. නොයෙක් තහනම් නීති මධ්‍යයේ වුවත් මෙ තරම් ප්‍රකාශන සිදුවීමෙන් පුද්ගලයකු කෙරෙහි බලපාන කාමාශාව කොතරම් උග්‍රදැයි සිතාගන්නට පුළුවන.”
ළමයින් වැඩි වශයෙන් ඉගෙන ගන්නේ පාසලෙන් පිටත දී බව අප අමතක නො කළ යුතු ය. එ සේ නම් සහජයෙන් උරුම වී ඇති ශාරිරික පෙළඹවීම පන්ති කාමර අධ්‍යාපනය මඟින් සාර්ථක ලෙස පාලනය කළ හැකි ද?
හින්දු දේව පුරාණයේ කාමාශාව මූර්තිමත් කිරීම සඳහා යොදාගත් අනංග සංකල්පය විමසා බැලීම මෙහි දී වැදගත් ය. මී මැසි වැළකින් සැදි දුනු දිය සහිත උක් දඬු දුන්නක් අනංගයා සතු ය. රාගය නිසා ඇතිවන උන්මාදන, තාපන, ශෝෂණ, ස්තම්භන, සම්මෝහන යන ශර පහෙන් අනංගයා විදියි. ඒවා නෙළුම්, හෝපලු , අඹ, දෑසමන්, නිල්උපුල් යන මල් ලෙස ද හැඳින් වේ. ගිරවුන් විසින් අදිනු ලබන රියක ගමන් බිමන් යන අනංගයා ගේ බිරිඳ රති දෙව්දුව ය. වසන්තයේ දී කාමය උද්දීපනය වන හෙයින් ඔහු ගේ සෙන්පතියා වන්නේ වසන්තය යි. අනංගයා අතිශයින් රූමත් යැයි සැලැකේ.
මේ අනංග සංකල්පයෙන් කාමයෙහි යථා ස්වභාවය මැනවින් චිත්‍රනය කැරේ. එහි අරමුණ වූයේ කුමක් ද? මිනිසා ගේ ශාරීරික පෙළඹවීම හා රාගික සිතුවිලි ක්‍රියාකරන ආකාරය පිළිබඳ සංස්කෘතික සාක්ෂරතාව ලබාදීම එහි අරමුණ විය. සංස්කෘතික සාක්ෂරතාව යනු හුදු විෂය දැනුම ඉක්මවා ගිය ආනන්දයෙන් ප්‍රඥාව ලබා දෙන තත්ත්වයකි. එ බඳු සංස්කෘතික සාක්ෂරතාව සහිත මිනිසකු වූ කරුණාරත්න අබේසේකර සූරීන් ලියූ මිල්ටන් මල්ලවආරච්චි ගැයූ මේ ගී පද ඊට කදිම නිදසුනකි.
සංසාර සෙවණැල්ල ලෙස ආ පතාලා
ශෘංගාර රසදුන්නු කලතා පෙරාලා
සංස්කෘතික සාක්ෂරතාව සහිත සමාජයක් නිර්මාණය කිරීම මිස වෙනත් විකල්පයක් මෙයට නැත.

පන්සිය පනස් ජාතක පොතෙන් අන්ධභූත ජාතකය

තිලෝගුරු සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ දී මහණ දම් පිරීමෙහි උකටලී වූ එක්තරා භික්‍ෂුවක් අරභයා, අන්ධභූත ජාතකය දෙසා වදාළ සේක. රාග කාමයේ ප්‍රබලත්වය නුවණින් විමසා ඉන් මිදීමට කටයුතු කිරීමේ වැදගත්කම ගැන මෙයින් පැහැදිලි කෙරෙයි.
ඇතැම් කාන්තාවකගේ ඇතැයි පැවැසෙන දුර්වලතාවක් ගැන මේ ජාතක කතාවෙන් කියැවෙයි. එනම්, කාන්තාවන් මවුකුස තුළ සිටියදී පටන්ම ආරක්‍ෂා කළ ද ඔවුන් ආරක්‍ෂා කිරීම අපහසුය යන්නයි.
බඹදත් රජතුමා සහ ඔහුගේ පුරෝහිත බමුණා යන දෙදෙනා එක්ව, සූදු ක්‍රීඩා කිරීමට කැමැත්තෝ ය.
දෙදෙනා මුදල්වලට සූදු සෙල්ලම් කරති. රිදී පෝරුවේ රන් පස ඇට දැමීමට පෙර තරගයෙන් ජයගැනීම සඳහා මන්ත්‍රයක් වැනි කවියක් කියා තමාගේ කැට වීසිකිරීම රජතුමාගේ සිරිතය. රජතුමා කියන කවිය මෙසේ ය.
සබ්බානදී වංකගතා - සබ්බේ කට්ඨමයා වනා,
සබ්බිත්ථියෝ කරේපාපං - ලභමානා නිවාතකෙ
එහි අදහස නම්, සෑම ගංගාවක්ම ගලන්නේ ඇදටය. සෑම කැලයක්ම කටු සහිතය, ඉඩ ලද විටෙක සෑම ගැහැනියක්ම වරදෙහි බැඳේ යන්නයි.
මෙකී ගීතය නැතහොත් කවිය කියා කැට විසිකිරීම රජුගේ සිරිතයි. රජු සැමවිට ජයගනී. පුරෝහිතයා සැමවිට පරදී. පුරෝහිත බමුණා, තමාට ජය අත්කරගන්නට උපායක් කල්පනා කළේ ය. එනම්, උපන් මොහොතෙහිදි පටන්ම පිරිමියකු නොදුටු දැරියක සරණ කර ගැනීමයි. ඒ අනුව, ගැබක් දරා සිටි දුප්පත් ස්ත්‍රියකට මුදල් දී, ඇයට උපන් බිළිඳිය ලබාගෙන, දැරිය උපන් මොහොතේ සිටම පුරුෂයන්ට දැක ගන්නට නොහැකි ලෙස, ස්ත්‍රීන් ලවාම හදා වඩවා ගෙන වැඩිවිය පැමිණිවිට ඇය විවාහ කරගත්තේ ය.
පුරෝහිත බමුණා යළිත් දාදු ක්‍රීඩාවේ යෙදෙන විට රජතුමා සුපුරුදු කවිය ගායනය කරත්ම දේවයන් වහන්ස, හැබැයි මගේ බිරිඳ නම් කෙදිනකවත් අන් පුරුෂයෙකු සේවනය කරන්නේ නැතැයි කීය. දැන් ක්‍රීඩාවෙහි පුදුම වෙනසකි. රජු දිගටම පරාජයට පත්වේ. පුරෝහිත බමුණා ජය පිට ජය ලබයි. ඇත්තටම, මේ බමුණා දිනන්නේ පතිවත රකින කාන්තා රත්නයක් ඔහු සතු නිසා බැව් රජු අවබෝධ කරගනී. මා දිනවන කවිය දැන් බොරු වී ඇත. ඒ රජුගේ සිතුවිල්ලයි.
දාදු කෙළියෙන් ජය ලබාගන්නට උපායක් යොදයි. එනම්, පුරෝහිත බමුණාගේ බිරිඳගේ පතිවත බිඳීම සඳහා සල්ලාල මිනිසකු යොදාගන්නට තීරණය කරයි.
එම මිනිසා රජුගෙන් මුදල් ලබාගෙන පුරෝහිත බමුණාගේ නිවෙස අසල රන්, රිදී, මුතු මැණික්, සුවඳ වර්ග හා මල් වර්ග විකුණන වෙළෙඳ සැලක් විවෘත කරයි. කාන්තාවන් වඩා පි‍්‍රය කරන විවිධ වර්ණයේ සළු පිළි මේ වෙළෙඳ සැලේ විකුණනු ලැබේ. රජතුමා උපාය ක්‍රියාත්මක කරන්නට කුලියට ගත් සල්ලාලයාට, බමුණාගේ ලාබාල බිරිඳ සමඟ මිත්‍රවීම, විශාල අභියෝගයකි. පුරෝහිත බමුණාගේ සත්මහල් ප්‍රාසාදය රැකවල්ලන්ගේ කාන්තාවන්ය. නව යොවුන් දැරිය දකින එකම පිරිමියා පුරෝහිතයා පමණි. මේ ප්‍රාසාදයට ඇතුළුවීම මහා අභියෝගයකි. උපායශීලී සල්ලාලයා අපූරු සැලසුමක් පිළියෙළ කරගනී. ඔහුගේ සැලසුම ක්‍රියාත්මක වීම නිසා වෙළෙඳ සැල ගැන ආරංචිය පුරෝහිතයාගේ පතිවත සුරකින බිරිඳට අසන්න ලැබෙයි. ඒ මෙසේය.
තම සේවිකාවන් ලවා මල්වර්ග ඇය වෙළෙඳ සැලෙන් ගෙන්වා ගනී. කාන්තාවන් කිහිපදෙනකු සමග මල් ගෙනයන්නට තරමක් වයසක සේවිකාව නපැමිණි විට වෙළෙඳසැල පවත්වාගෙන යන මිනිසා ඇය දැක, ඇයගේ දෙපා වැළඳගෙන මහ හයියෙන් හඬන්නට විය.
“අනේ අම්මේ ඇයි අම්මේ මාව දමලා කොහෙද ගියේ? මගේ රටක් වටින අම්මායි කියමින් වැළපෙන්නට විය. ඔහු සමඟ සිටි සහායකයෝද අම්මයි පුතයි එකවගේමයි පැවසූහ. ගමන බිමනත් දෙදෙනාගේම එකවාගෙයි ඔවුහු පැවසූහ. කාන්තාවගේ සිතෙහි පුත්‍ර සෙනෙහස උතුරාගලායන්නට විය. මේ උපක්‍රමයෙන්, වියපත් සේවිකාව සමඟ මිත්‍ර වූ සල්ලාල වෙළෙන්දා පුරෝහිත බමුණාගේ බිරිඳට වැඩිපුර මල් යවන්නට පටන්ගත්තේ ය. ඒවාට මුදල් ලබාගත්තේ ද නැත. එක් දිනක් බොරු අසනීපයක් මවාගෙන මොහු වැතිරී සිටියේ ය.
අනේ මගේ රත්තරන් පුතාට තියෙන අසනීපය, අමාරුව කුමක්දැයි මහලු සේවිකාව විමසුවා ය. “අම්මේ, පුරෝහිත බමුණාගේ ලාබාල බිරිඳ ගැන අම්මා මා සමඟ නිතර කතා කළා රූමත් යැයි කීවා. මට ඇයගේ ඇසුර, පහස ලබන්නට නොහැකි නම් මා මැරෙනවා යයි කීවේ ය.
පුත්‍ර සෙනෙහස නිසා ඇය තම දරුවාගේ ජීවිතය බේරා ගත යුතුයි. “මං කොහොම හරි උඹට ඇය හඳුන්නල දෙන්නම්” අම්මා පැවසුවා ය.මහලු සේවක කාන්තාව තමාගේ පුතුගේ බරපතළ ප්‍රශ්නය බමුණාගේ ලාබාල බිරිඳට කීවා ය. ඔහුරහසේම රැගෙන එන්නැයි ඇය උපදෙස් දුන්නාය.
ප්‍රාසාදය රැකවල් ලන කාන්තාවන් උපායෙන් මුළා කළ මහලු කත සලෙල පුරුෂයා ප්‍රාසාදයට රැගෙන යෑමට ඉඩ කඩ සලසා ගත්තා ය. මහලු කාන්තාව විසින් ප්‍රාසාදයට ගෙන යනු ලබන විශාල මල් පෙට්ටියක් තුළ සැඟවී ප්‍රාසාදයට ගොස් රහසේම තරුණිය මුණ ගැසීමට පුරුෂයා සමත් විය. ඔහු එහි සැඟ වී දින කිහිපයක් නතරවද සිටියේ ය.
මඳ දිනෙකින් ඔහු යා යුතු වේලාව මේ යැයි තරුණිය ඔහුට මතක් කර සිටියා ය. සලෙල පුරුෂයා එහිදී කියා සිටියේ බමුණාට පහරක් ගසා යන්නට තමන්ට ආශාවක් ඇති බවයි. තරුණිය මේ පුරුෂයාගේ මනදොළ සපුරාලනුවස් උපායක් යෙදුවා ය.
ඈ බමුණා ප්‍රාසාදයට පැමිණි පසු ඔහු වීනා වයන විට තමන් නටන්නට කැමැති බව කීවා ය. බමුණාද එසේ කරන්නට ඉඩ දුන් විට තමන් ඔහු දකින විට නටන්නට ලජ්ජා බව කියා බමුණාගේ අවසරය ද ඇතිව රෙදි කඩකින් දැඩිව ඔහුගේ දෑස් බැන්දා ය.
පි‍්‍රය බිරිඳගේ අදහසට ඉඩ දුන් බමුණාට ඊළඟට ඇය කියා සිටියේ තමන් නටමින් සිටින අතරතුර ඔහුගේ හිසට එක්වරක් පහරක් ගසන්නට ආශාවක් ඇති බවයි. ඇය කෙරෙහි බැඳුණාවූ පුරෝහිත බමුණා ඊට ද අවසර දුන් කල්හි, සැඟව සිටි සල්ලාල පුරුෂයා, පිටුපස්සෙන් පැමිණ බමුණාගේ හිසට දැඩිව වැලමිටෙන් ඇන්නේ ය. අනතුරුව පලා ගිය මිනිසා තමාගේ සපන්කම රජුට දන්වා සිටියේ ය.
පුරෝහිත බමුණාගේ බිරිඳගේ පතිවත බිඳුණු පසුව, රජු සුපුරුදු ගීය ගයා දාදු කෙලියේ යෙදෙමින් යළිත් ජය ලබන්නට පටන් ගත්තේ ය.
රජතුමා ජයග්‍රාහී ලීලාවෙන් පුරෝහිත බමුණා ඇමතීය. “පුරෝහිත බමුණ ඔබේ බිරිඳගේ පතිවත බිඳිල නේද?එදා ඔබ ඇස් බැඳ වීනාව වාදනය කරනවිට දී ඔබේ හිසට පහරදුන්නේ ඔබගේ බිරිඳගේ සොර සැමියා” යයි කීවේ ය. පුරෝහිත බමුණා අන්දමන්ද විය.
මෙය සත්‍යයක්ද? පුරෝහිත බමුණා මේ ගැන තම බිරිඳගෙන් විමසුවේ ය. “ඔබතුමා මා ගැන සැක පළ කරන්නේ ඇයි? මා කවදාවත් වෙනත් පිරිමියකු දැකලත් නැහැ. අතින්වත් අල්ලා නැහැ. ගිනිමැලයක් සකසන්න මා ඒ බව ඔප්පු කරන්නම් මා වෙනත් පිරිමියෙකුගේ පහස විඳ ඇත්නම් මා මේ ගිනිමැලයේ පිච්චී දැවීයාවි. මා සත්‍ය ක්‍රියා කරනවායි” පැවැසුවාය.
මේ අතර තරුණිය කදිම උපදෙසක් මහලු සේවිකාවට රහසේම දුන්නාය. මා ගිනිමැලයට පනින්න සූදානම් වන අවස්ාථාවේ නුඹේ පුතාට කියාපන් ගිනිමැලයට පනින්න පෙර මාගේ අතින් අල්ලා ගිනිමැලයෙන් පිටතට අදින්න කියලා”.
ඒ පුරුෂයා අපූරුවට ඔහුගේ කොටස රඟපෑවේ ය. මේ සියල්ල සිදුවුණේ පුරෝහිත බමුණා, ඉදිරියේ ය. “ස්වාමිණී, දැන් කරන්න දෙයක් නැහැ. මේ මිනිහා මාව අතින් ඇල්ලුව නිසා මාගේ සත්‍යක්‍රියාව බිඳ වැටුණා.
මෙතෙක් කවදාවත් පිරිමියෙකු මාගේ අත අල්ලා තිබුණේ නැහැ. ඔබතුමා පමණයි මාගේ අතින් අල්ලා තිබුණේ. එහෙත්, මා දන්නේ නැහැ මේ. මිනිසා කොහේ සිට පැමිණියා ද කියා. මේ පුද්ගලයා මගේ අතින් ඇල්ලුවා බැවින් මා මෙතෙක් රැක්ක පතිවෘතාව කැඩුණා යැයි පැවසීය. මේ කාන්තාවගේ කපටි උපාය කෙතරම් ප්‍රබලද? අද සමාජයේ වූවද මෙවැනි අසම්මත සබඳතා පවත්වන ස්ත්‍රී, පුරුෂයන් ගැන අපි අසා ඇත්තෙමු. අද සමාජයට මේ කතාව සමානාත්වයක් දක්වයි.
මෙම කතා පුවත වර්තමාන සමාජ ස්වරූපය නිරූපණය කරන කෙටි කතාවක් වැන්න. සමාජයේ මෙවැනි සිදුවීම් දක්නට ලැබේ. කාන්තාවන්ද පුරුෂයන්ද මෙවැනි ගැටලුවලට ප්‍රශ්නවලට පැටලි දුක්ඛිත තත්ත්වයන්ට පත්වේ. මෙවැනි දුර්වලතා වටහාගෙන උකටලී නොවී ඉන් මිදීමට ක්‍රියා කළ යුතු බව මෙයින් අපට පැහැදිලි වේ.

යළි සුනාමි ආවත් ජීවිත හානි වෙන්නේ නෑ

දට යෙදෙන (දෙසැම්බර් 26) ‘ජාතික ආරක්ෂිත දිනය’ නිමිතිකර ගනිමින් අදින් වසර 7 කට පෙර සිදුවූ සුනාමි ව්‍යසනය හා ඉන්පසු යළි නැඟී සිටීම ගැනත්, ආපදා පෙර සූදානම හා ආපදා කළමනාකරණ ක්‍රියාමාර්ග ගැනත්, ස්වභාවික ආපදාවකදී ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් අප සිටින මට්ටම පිළිබඳත් ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර සමඟ කළ සංවාදයකි.
* හරියටම අදින් වසර හතකට පෙර 2004 දෙසැම්බර් 26 වැනිදා අප කිසිවකුත් නොසිතූ විලසින් අත්විඳීමට සිදුවු සුනාමි ව්‍යසනය පිළිබඳ මතකය ඔබ අවදි කරන්නේ කෙසේද?
සුනාමි ව්‍යසනයට අප එදා මුහුණදෙද්දි අපි වැඩිදෙනෙක් ඒ වචනය පවා දැන සිටියේ නෑ. එවැනි විපතක් ගැන අසා තිබුණේත් නෑ. විශ්වවිද්‍යාල තුළවත් ඒ ගැන සාකච්ඡා කෙරී නොතිබුණා විය යුතුයි. මේ පසුබිම තුළ ඒ වගේ විනාශයක් පිළිබඳ කිසිවකුටත් හැඟීමක් තිබුණේ නෑ. සුනාමිය නිසා ඒ තරම් ජීවිත විනාශයක් වුණෙත් ඒකයි.
40,000 ක් විතර ජීවිත අහිමිවුණා. විශාල දේපළ හානියකුත් සිදුවුණා. මේ දැවැන්ත ඛේදවාචකයෙන් පසු රජයක් හැටියට අපට අහිමි වු මිනිස් ජීවිත හැර අන් සියල්ල ලබාදීමට පුළුවන් වුණා. විනාශ වූ යටිතල පහසුකම් යළි නැංවුවා. ධීවර බෝට්ටු, ආම්පන්න ආදිය ලබා දුන්නා. විනාශ වූ ගම් බිම් යළි ගොඩනැගුවා. විපතට මුහුණ දුන් ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. රජය නිසි මුදල් කළමනාකරණයකින් යුතුව මේ සියල්ල හොඳින් කළා.
* සුනාමියත් ඇතුළුව ස්වභාවික ආපදාවන්වලදී ජීවිත අහිමිවුවන් සැමරීමත් අරමුණු කරමින් ජාතික ආරක්ෂිත දිනය ලෙස දෙසැම්බර් 26 නම් කර තිබෙනවා. මෙවර මේ දිනය සැමරීම සිදුවන්නේ මොන විදිහටද?
සුනාමි ව්‍යසනයෙන් පසු ආපදා කළමනාකරණය සඳහා වෙනම අමාත්‍යාංශයක් පවා ඇති කළා. ඒ වගේම හැම වසරකම දෙසැම්බර් 26 වැනිදා ජාතික ආරක්ෂිත දිනය ලෙස නම් කර සුනාමිය ඇතුළු ස්වභාවික ආපදා නිසා ජීවිත අහිමිවුවන් සැමරීම සිදුකෙරෙනවා. ජාතික ආරක්ෂිත දින පළමු සැමරුම සිදුකෙරුණේ ගාල්ලේදී. ඉන්පසු යාපනයෙත් එය පැවැත්වුවා. ත්‍රස්තවාදයෙන් බැට කෑ ප්‍රදේශවල දරුවන් එම කටයුතුවලට සම්බන්ධ කර ගත්තා. මෙවර එම දිනය අද සමරන්නේ මඩකළපුව කාතන්කුඩි ප්‍රදේශයේදී. එම ප්‍රදේශවලත් මුස්ලිම්, දෙමළ ජන කොටස්ද ත්‍රස්තවාදය නිසා පීඩාවට පත්වුණා. එම දරුවන් මෙවර මේ සැමරුමට සහභාගී වෙනවා. මෙවර ජාතික ආරක්ෂිත දිනය සමරන්නේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අද දිනයේ සිදුකෙරෙන ඉතාමත් වැදගත් කාර්යයක් තමයි, පෙ.ව.9.25 සිට 9.27 දක්වා විනාඩි 2 ක නිහැඬියාවක් පවත්වා ස්වභාවික ආපදාවලින් ජීවිත අහිමිවුවන් සිහිපත් කිරීම. ඊට එක්වන හැටියට රටේ ජනතාවගෙන්ද ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා.
* සුනාමි ව්‍යසනයෙන් පසු යළි නැඟී සිටීමේදී ඊට මුහුණ දුන් හා මෙවැනි විපත්වලට මුහුණ පෑ සෙසු රටවලට සාපේක්ෂව අප සිටින්නේ මොන වගේ මට්ටමකද?
සුනාමි ව්‍යසනය පමණක් නොවෙයි, ඕනෑම ස්වභාවික ආපදාවකට පසු ලෝකයේ අන් කිසිදු රටකට නොදෙවෙනිව එම පශ්චාත් ආපදා කළමනාකරණ කටයුතු කරන්න අපේ රටට හැකිවුණා. එහිදී රටක් හැටියට අප දැක්වු සාර්ථකත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා ප්‍රශංසාවට හේතුවු බව කියන්න ඕන. පසුගිය ගංවතුර තත්ත්වයෙන් අනතුරුවත් එම පශ්චාත් කළමනාකරණ කටයුතු අප හොඳින්ම කළා. මෙවැනි ස්වභාවික ආපදාවකදී ඇතිවිය හැකි ජීවිත විනාශයට අමතරව ආහාර හිඟවීම, බෝවන රෝග වගේ හේතුන් නිසාත් ජීවිත විනාශ විය හැකියි. නමුත් අපේ රටේ එවැනි තත්ත්වයක් ඇතිවෙන්න අප ඉඩ තබා නෑ. මෙවැනි ආපදාවකදී ත්‍රිවිධ හමුදාව, අපේ අමාත්‍යාංශයට අයත් සහන සැලසීමේ කණ්ඩායම් ආදිය හොඳින් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් විපතට ලක්ව සිටින ජනයාට ආහාර සැපයීම, නිසියාකාරව ඉටුකිරීමටත් අප වගබලා ගන්නවා. එක් වේලක් හෝ ඔවුන් කුසගින්නේ නොතබන ලෙස ගරු ජනාධිපතිතුමා අපට පැහැදිලිව උපදෙස් දී තිබෙනවා. පළමු ආහාර වේලේ පටන්ම ඒ ආහාරපාන ලබාදෙන ලෙස නිලධාරින්ට නියම කරලයි තියෙන්නේ.
* ස්වභාවික ආපදාවකට මුහුණදීමේදී ආපදා පෙර සුදානම හා ආපදා කළමනාකරණය අතින් අද අප සිටින්නේ මොන වගේ තැනක ද?
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හැටියට අප සිදුකරන්නේ ආපදාවලින් විපතට පත් අයට කන්න දෙන එක පමණක් නෙවෙයි. අපේ අමාත්‍යාංශයේ කාර්යභාරය ඊට වඩා පුළුල් බව මා නිතර අවධාරණය කරන දෙයක්. ස්වභාවික ආපදාවකදී විය හැකි හානි අවම කර ගැනීම සඳහා අප විශාල වැඩ කොටසක් කරනවා. නිදසුනක් ලෙස ගංවතුර පාලනය කරන්න පුලුවන්. කොළඹ, ගම්පහ වගේ නගර දැන් තරමක් තද වර්ෂාවකදීත් කලින් වගේ වතුරින් යටවෙන්නේ නෑ. ලබන වසරේදී කොළඹ ගංවතුර පාලන ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් බිලියන 8 ක් යොදවනවා. එය ක්‍රියාත්මක වු විට කොළඹ ගංවතුරට යටවෙන එකක් නෑ. අනෙක් පළාත්වලත් එවැනි වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබන වර්ෂය සඳහා වු අයවැයෙන් ජනාධිපතිතුමා ලබාදී තිබෙනවා.
එය සිදුවිය හැකි හානි අවම කර ගැනීම සම්බන්ධයෙන් විශාල ලෙස වැදගත්. තවත් විශේෂයෙන් කිව යුතු කාරණයක් තමයි, යම්කිසි අන්දමකින් සුනාමි වැනි ආපදාවක් ඇතිවුවහොත් 2004 දී මෙන් ජීවිත විනාශයක් කිසිසේත් සිදුනොවන බව. එවැනි තත්ත්වයක් ගැන වහා දැනුම්දීමට අවශ්‍ය ක්‍රමවේදයක් දැන් අපට තිබෙනවා. ඉර්ඉ පණිවිඩයක් ලෙස ජංගම දුරකතනයට ඒ පණිවිඩ ලබාදිය හැකියි. ජනමාධ්‍ය ඔස්සේද ක්ෂණිකව මේ දැනුම්දීම කරනවා. පොලිසිය හා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගනිමින් එම අනතුරු ඇඟවීම් කිරීමේ හැකියාව තිබෙනවා. ගමන්කතන මඟින් මේ පණිවිඩ ලබා දෙනවා. මෙවැනි ආපදාවකට මුහුණදෙන්නේ කෙසේද යන්න ගැන පෙරහුරු ගණනාවක් පවත්වා තිබෙනවා. සුනාමි වැනි තත්ත්වයකදී නම් අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක්ද ස්ථාපිත කර තිබෙනවා. මේ නිසා අනියම් බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නෑ.
* පසුගියදා දකුණු මුහුදට බලපෑ කුණාටු තත්ත්වය පිළිබඳ පුර්ව දැනුම්වත් කිරීම් සිදුකිරීමට හැකිවුවා නම් ඇතිවූ තත්ත්වය මීට වෙනස් වෙන්න ඉඩ තිබුණා. එහිදී කාලගුණ විද්‍යා අංශ අසමත් වුණාද ?
මාතරදී ඇතිවූ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ඉටුවුණාද කියන එක ගැන වාර්තාවක් ලබාගත්තා. ඒ අනුව ඔවුන් අතින් අතපසුවීමක් වී ඇති බවට තොරතුරු වනවා. මේ පිළිබඳ මාධ්‍යවේදීන්ටත් කරුණු විමසීමට අවස්ථාවක් ලබාදෙනවා. මේ ගැන උනන්දුවක් දක්වන අයටත් තොරතුරු ලබාදීමට ඉඩ සලසනවා. මීට අමතරව, කවුරුන් අතින් හෝ යම් වරදක් සිදුවී ඇතැයි පෙනී ගියහොත් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න, දඬුවම් කරන්න අප කිසිසේත් පසුබට වන්නේ නෑ. මෙවැනි දෙයක් යළිත් සිදුනොවීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම සඳහාත් ප්‍රතිසංවිධාය කිරීම සඳහාත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.
* මේ දිනවල රටේ ප්‍රදේශ කිහිපයකට අධික වර්ෂාව නිසා ගංවතුර තත්ත්වයක් පවතිනවා. විශේෂයෙන් කිලිනොච්චිය, මුලතිව් වගේ දිස්ත්‍රික්කවලට මේ තත්ත්වය බලපාලා. මොන විදිහේ ක්‍රියාමාර්ගද මේ සඳහා අරගෙන තියෙන්නේ?
දැනටමත් ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන අවසන්. ප්‍රතිපාදන ප්‍රශ්න වගේ දේවල් දැන් ඇතිවෙන්නේ නෑ. ණය පිළිබඳ ප්‍රශ්නත් නෑ. කලින් තිබූ ණය පියවා අවසන්. දිසාපතිවරුන්ට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදී තිබෙනවා. ඔවුන් අතැති මුදල් වියදම් කළත් ඉක්මනින්ම එම මුදල් පියවීමට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. කළින් පැහැදිලි කළා වගේ මේ ජනතාව පීඩාවට පත් නොකර පළමු කෑම වේලේ පටන්ම ඔවුන්ට ලබාදීමට අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. දිසාපතිවරුන් මාර්ගයෙන් එම සහන සැලසීමේ කටයුතු ක්‍රමානුකූලව හා කඩිනමින් සිදුකිරීමට වැඩපිළිවෙළ ඇතිකරලයි තියෙන්නේ.
* ස්වභාවික ආපදාවකට මුහුණදීම සම්බන්ධයෙන් කවර මට්ටමේ සූදානමක සිටියත් තවමත් ජනතාව කටකතාවලින් පවා කලබලයට පත්වෙනවා. ඔවුන් ලබන ඇතැම් අත්දැකීම් නිසාත් එලෙස කලබලයට පත්වනවාද යන්න ගැන හිතන්න වෙනවා. මෙවැනි අවස්ථාවකදී විශ්වාසනීයව හා කඩිනමින් අවශ්‍ය දැනුම්වත් කිරීම් කරන්න හැකි බව කිව හැකිද? මේ ගැන ඔබට ජනතාවගෙන් යම් ඉල්ලීමක් කරන්න තිබෙනවාද?
පළමුවෙන්ම ඉල්ලන්න තියෙන්නේ ඒ වගේ කටකතාවලට රැවටෙන්න එපා ! කියලයි. මෙවැනි ආපදාවක් ගැන කලින් දැනුම් දෙන්න තරම් හැකියාවක් දැන් අප සතුයි. ආපදා අවදානමක් ඇති ප්‍රදේශවල ජනතාව පෙරහුරුවලට පවා සහභාගි වී මනා සුදානමක්, දැනුමක් ඇති කරගෙන තිබෙනවා. මේ නිසා අනවශ්‍ය ආකාරයට කලබලවීම කළ යුතු නෑ. හැබැයි පසුගියදා ඇතිවූ සිදුවීම නිසා කාලගුණ විද්‍යා අංශ ගැන ජනතාව තුළ ඇති විශ්වාසය බිඳවැටුණා නම් ඒක හොඳ දෙයක් නෙවෙයි. මොකද, ඉදිරියේදී ඔවුන් කරන අනතුරු ඇඟවීම් ගැන පවා ජනතාව විශ්වාස නොකර සිටියොත්, ඇතිවිය හැකි ප්‍රතිඵල කනගාටුදායක වෙන්න පුලුවන්. ඒ නිසා කාලගුණ හා අදාළ අනෙකුත් අංශ ගැන ජනතාව තුළ විශ්වාසයක් තිබීම ඉතා වැදගත්. ඒ ගැන අවධානය යොමු කරමින් තමයි, අපි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවීකරණයත් අනාගත දැක්මකින් යුතුව ක්‍රියාවට නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින්නේ. ඒ කටයුතු සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතියත් ලැබී තිබෙනවා. ඒ අනුව ඉදිරි කාලය තුළ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට ඒ යොමුකිරීම් කර තිබෙනවා. නැවතත් ජනතාවගෙන් ඕනෑකමින් ඉල්ලා සිටින්නේ කටකතාවලට රැවටී අනවශ්‍ය ආකාරයට කලබල නොවන ලෙසයි.

රට ගිලගත් සුනාමියට වසර 7යි





ශ්‍රී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් මුහුණ දුන් දැවැන්තම ඛේදවාචකය වන සුනාමි ව්‍යසනයට අදට (26) වසර හතක් පිරේ. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසළ සාගරයේ සිදු වූ භූ කම්පනයක් නිසා හට ගත් සුනාමි ව්‍යසනයෙන් ලොව පුරා රටවල් 14 කට දැඩි හානි සිදු විය. රිච්ටර් මාපකයේ 8. 9 ඉක්ම වූ කම්පනයක් මෙහිදී වාර්තා විය. සැණෙකින් රළු වූ මහා සාගරය ගොඩ ගලා දහස් සංඛ්‍යාත ජනකායකගේ ජීවිත පමණක් නොව කෝටි ගණනක් වටිනා දේපළ ද සොරා ගත්තේ යළිත් වසර ගණනකට රට ගොඩ නැඟිය නොහැකි වන අන්දමට ය.
ලෝකයේ දියුණු රටවල් පවා සුනාමියෙන් එල්ල වූ තර්ජනය හමුවේ පරාජිතව සිටියදී ධෛර්ය සම්පන්න ශ්‍රී ලාංකිකයෝ කෙටි කලක් තුළ යළිත් නැඟී සිටියහ.  එවකට උග්‍ර තත්ත්වයක පැවැති ත්‍රස්තවාදී ගැටලුවත් සමඟ සුනාමියටත් මුහුණ දුන් අප රට යළිත් ගොඩ නොනැෙඟතැයි බලා සිටි ජාත්‍යන්තරයට පැහැදිලි පිළිතුරක් දුන් ශ්‍රී ලංකාව අද සුනාමියේ හත් වැනි සංවත්සරය සමරන්නේ සුනාමියෙන් වූ ව්‍යසනය පමණක් නොව දශක තුනක් පැවැති රුදුරු ත්‍රස්තවාදයත් අකා මකා දැමූ නිදහස් රටක් ලෙසය.
සුනාමියෙන් අහිමි වූ ජීවිත හැර අනෙකුත් සියලු දේ මේ වන විට ගොඩ නැගීමට ජාතියක් වශයෙන් අප සමත්ව වුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දූරදර්ශී නායකත්වය හා මඟ පෙන්වීම මත බව නොරහසකි. සුනාමි ව්‍යසනය සිදු වන අවස්ථාවේදී එවකට සිටි රාජ්‍ය නායිකාව රටේ නොසිටි අතර එවකට අගමැතිවරයාව සිටි වත්මන් ජනාධිපතිවරයා වහා මැදිහත්ව විපතට පත් වූවන්ට සහන සැලැසීමට කටයුතු කළේය. සුනාමිය නිසා පළාත් හතරකට අයත් දිස්ත්‍රික්ක 13ක් ආපදාවට ලක්විය. ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, කොළඹ, ගම්පහ, අම්පාර, මඩකළපුව, ත්‍රිකුණාමලය, යාපනය, කිලිනොච්චිය, මුලතිව් හා පුත්තලම දිස්ත්‍රික්ක මෙසේ ආපදාවට ලක්විය.
අප රටේ 31000 ඉක්ම වූ ජීවිත සංඛ්‍යාවක් සුනාමියෙන් අහිමි වූ අතර 4093ක් අතුරුදන්ව තවත් 23000කට පමණ තුවාල සිදු විය. ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් අවතැන් වූවන් බවට පත් කළ සුනාමි රකුසා නිවාස 63447ක් සම්පූර්ණයෙන් විනාශ කර දැම්මේය. අර්ධ හානි සිදු වූ ඬවාස සංඛ්‍යාව 43,000 ඉක්මවයි. සංචාරක හෝටල් 144ක් විනාශ විය. ආගමික සිද්ධස්ථාන 396ක්, පාසල් 73ක් රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන 9 ක් සම්පූර්ණයෙන් විනාශ වූ අතර තවත් පාසල් 109ක් රෝහල් 18ක් අර්ධ වශයෙන් විනාශ විය. දෙසැම්බර් 26 වැනිදා උදේ කොළඹ සිට මාතර බලා ධාවනය වූ අංක 50 දරන දුම්රිය තෙල්වත්ත ප්‍රදේශයේදී සුනාමියට බිලි වූ අතර එහි ගමන් කළ මඟීන් දහසකට ආසන්න ප්‍රමාණයකගේ ජීවිත අහිමි විය.